09 October 2025

ආදරණීය ජානකී

 


අසූව දශකයේ උසස් පෙළ ඉංග්රීසි විෂය සඳහා නිර්දේශ කවි අතර විලියම් ව(ර්)ඩ්ස්ව(ර්)ත් ගේ ලුසී කවි වලින් එකක අවසන් පද කිහිපයක් මතක් විය. 'ඇය විසුවේ අප්රසිද්ධ මං පෙත් අතරේ ය,' ලෙස හැඳින්වෙන එම කව අවසන් වන්නේ මෙලෙසයි: 
 
'....එනමුත් ඇය මිහිදන්ය දැන්, අහෝ
දැනෙන වෙනස මා හට.' 
 
මට නොවේ. අපට. එලෙසයි එය සංශෝධනය කළේ. කොළඹ විශ්ව විද්යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය ජානකී ජයවර්ධන හදිසි අනතුරකින් මිය ගිය පුවතින් කම්පා වූ බොහෝ දෙනා අතර ඇය සමග 1985 ඔක්තෝබර් මස පේරාදෙණිය සරසවියේ දුම්බර මණ්ඩපයට පිවිසි මාගේ සිතෙහි ඒ වදන් පෙරළුණේ එලෙසයි. 
 
ඒ සමගම අප දුම්බර මණ්ඩපයට පැමිණි පළමු දවසේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ පැවසූ යමක් ද මතක් විය. ඔහු කියා සිටියේ ළමුන් 100ක් හෝඩියේ පන්තියට ඇතුල් වනවා නම්, සරසවි වරම් ලබන්නේ ඉන් එක් අයකු පමණක් බවයි. ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ සරසවි වරම් නොලබන 99 දෙනාගේ බුද්ධි මට්ටමේ ප්රශ්නයක් නැති බවත්, ඔවුන්ගේ අවාසනාවට හේතුව සමස්ථ ව්යූහයේ දෝෂයක් බවයි. ඉතින් ඔහු මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කළේය: 'මෙම අනුපාතය වෙනස් කිරීමට කැපවීම සරසවි වරම හිමි කරගත් කෙනාගේ වගකීමකි.' 
 
ඉන් බොහෝ කලකට පසුව මගේ නිරීක්ෂණය වුයේ සරසවි සිසුන් සියයක් ආචාර්ය හල්පේ ගේ අදහස වැළඳගත්තේ නම් උපාධිය ලබා ගන්නා මොහොත දක්වා එය අර්ථවත් කරනුයේ එක් අයෙකු පමණක් බවයි. උපාධිධාරීන් සියයක් එම අනුපාතය වෙනස් කිරීමට අධිෂ්ටාන කරගත්තේ නම් ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ එක් අයෙකු පමණක් බවයි. ජානකී හල්පේ සර් ගේ යෝජනාව බරපතල ලෙස සැලකුවේද නැද්ද මම නොදනිමි, එනමුත් අපගේ කණ්ඩායමේ යම් කිසි කෙනෙක් රටේ අධ්යාපන ක්රමය පමණක් නොව තමන්ගේ දැක්ම අනුව නිරීක්ෂණය වූ සියලු වැරදි නිවැරදි කිරීමට, සියලු අසාධාරණකම් පිටුදැකීමට තම ජීවිතය, තම සියලු ශක්තීන් කැප කළේ නම්, ඒ ජානකී.
 
ඒ අර්ථයෙන් ජානකී ගමන් කලේ අප්රසිද්ධ මංපෙත් අතරේ ය. පහසු මාවත් බොහොමයක් ඇයට අත වැනුවද පහසු අපහසුකම් නොතකා ඇයගේ දෘෂ්ටියට අනුව නිවැරදි මාවතමැයි ජානකී නිරතුරුවම තෝරාගත්තේ. ඇයගේ මනස තුල ජීවත් වූයේ 'මම' නොවේ. 'අප.' පුද්ගලයා නොවේ, සමූහය. සමූහය ගැන විශ්වාසයක් සහ ආදරයක් ඇය සතු වූ බැවින් ඇයට මුණගැසුණු සියලු සහෘදයන් මෙන්ම ඇයගේ අනුකම්පාවට සහකම්පනයට ලක් වූ සියලු දෙනා ට හැකි පමණින් අත හිත දීමට උත්සාහ කලාය. 
 
ජානකී ගේ මතවාදීමය ස්ථාවර සහ දේශපාලනික තෝරාගැනීම් සියල්ල මා පිළිගත්තේ නැත. ඇතැම් අවස්ථාවලදී ඇයගේ අදහස් මාගේ අදහස්වලට සම්පූර්ණයෙන් ප්රතිවිරුද්ධ විය. එනමුත් ඒ පිලිබඳ දරුණු වාද විවාද අප අතර සිදුවුයේ නැත. ඒ ඇතැම් විට අප කටයුතු කළේ වෙනස් සමාජ, දේශපාලන සහ වෘත්තීමය අවකාශ තුල නිසා විය හැක. එවන් විසංවාද කෙසේ වෙතත් එක් දෙයක් පිළිබඳව මා හට කිසිඳු සැකයක් නැත. ජානකී ඇයගේ දේශපාලන අදහස්වලට සියයට සියයක් අවංක විය. වචනයෙන් සහ ක්රියාවෙන්. පුද්ගලික වාසි මෙන්ම ගෙවන්නට සිදුවන වන්දි ජානකීට අදාළ නොවින. ඇය ගමන් කළ මංමාවත් මොනවාදැයි නොදන්නමිය, එහෙත් හල්පේ සර්ගේ අර්ථයෙන් ඒවා අප්රසිද්ධ සහ කටුක බැවින් ජනප්රිය නොවුනත්, ජානකීට ගමන් සගයින්ගෙන් අඩුවක් නොවින. ඇය සමග බොහෝ අය ගමන් කළෝය, නැතහොත් ඇය ගමන් ගන්නා බැවින්ම බොහෝ අය ඇයගේ ගමන් සගයින් බවට පත්විය. ඔවුන් සමග ජානකී අත්වැල් බැඳ ගත්තාය. ඔවුන්ට වෙහෙසක් දැනුන විට ඇය ඔවුන් දිරිමත් කළාය. 
 
පේරාදෙණිය සරසවියේ 85/86 කණ්ඩායමේ දීප්තිමත් ශිෂ්යයින් අතර එක් සිසුවියක් ජානකී. ඉතිහාස විෂයෙහි පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමෙන් අනතුරුව කොළොඹ විශ්වවිද්යාලයේ කථිකාචාර්යවරියක් ලෙස පත්වූ ඇය ආචාර්යය උපාධියක්ද හිමිකරගත්තාය. ඇයගේ ශාස්ත්රීය ගවේෂණ සහ කෘති ගැන ඇයගේ සහෝදර ශාස්ත්රාඥයින් සහ සිසු සිසුවියන් හට මනා අවබෝධයක් ඇතැයි සිතමි. ඒ පිලිබඳ මම නොදනිමි. ජානකි ඔවුනට ගුරුවරියක් හෝ වෘත්තීයමය සගයෙක් සේම මිතුරියක් සහෝදරියක් වූ බව බොහෝ අය මේ වනවිට පවසා ඇත. 
 
ඒ සියල්ලටම වඩා ජානකී මානුෂීය ගුණයන්ගෙන් පිරිපුන් මෙන්ම ඕනෑම අසීරු හෝ බිහිසුණු අවස්තාවක වූවත් සිනාමුසු මුහුණින් සියල්ල විඳදරාගත හැකි අයෝමය මෙන්ම ඉතා මෘදු හදවතක් සතු කෙනෙක් බවත් පොදුවේ පිළිගැනේ. මේ සියලු ගුණාංග සතු කෙනෙකුගේ ඇවෑමෙන් කම්පා නොවූවේ ඉතා සුළු පිරිසක් විය යුතුයි. සෙසු ය ඇයට අවසන් ගෞරව දැක්වූහ. බොඳ වූ නෙතින් ඇයගේ නිසල දේහය අභියස මොහොතක් සිටහනිමින් සිදුවූ විපතේ ප්රමාණය මෙන්ම ඇය ඉතිරි කරන ලද හිස්තැන ගැනද මෙනෙහි කළෝය. 
 
මේ සියලු දේ සැමරුම් විය ඒ දුක්බර දවස් කිහිපය තුල. කළ යුතු යැයි සිතු දේ කළ සහ කිවයුතු යැයි සිතු දේ පැකිළීමකින් තොරව පැවසූ ජානකී ඒ කිසිවක් ප්රචාරණය නොකළාය. එබැවින් බොහෝ දෙනෙකුට ඒ බොහෝ දේවල් අලුත් විය. ජානකි නික්ම ගියේ අප බොහෝ දෙනා නොදන්නා ජානකී කෙනෙක් සිටිය බව සිතන්නට ඉඩ තියා ය. 
 
බොහෝ දේ කිව හැකි මුත්, සියල්ල මෙසේද පැවසිය හැකි බව මට සිතේ: බොහෝ දෙනෙකුට ජානකි තමන්ගේ හොඳම මිතුරිය විය.
 
දුම්බර මණ්ඩපයේ සහ ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ ගෙවුණු කාලය වෙත නැවත ගමන් කරමි. ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ සහ අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ දේශපාලනයට ජානකී විරුද්ධ වූවා ය. ඒ දේශපාලනයට විරුද්ධ බොහෝ අය මෙන් නොව ජානකී තමන් ගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටියාය. 
 
ඒ කෙසේ වෙතත්, අද මෙන් එදත් දේශපාලන ස්ථාවරය කුමක් වූවත් සියලු දෙනාටම ජානකි මිතුරියක්,සහෝදරියක් විය. ජානකී ඉතා හොඳ ශිෂ්යාවක් වූවද අධ්යයන කටයුතු කරන ලද්දේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන අතරේ ය. පවුලේ සියලු කටයුතු තමන්ගේ වගකීමක් ලෙස ජානකී තීරණය කර තිබිණ. 'පවුල' අනතුරුව තව තවත් ප්රසාරණය වූයේ ය. ජානකී ගේ පවුලට පසු කාලෙක වෘත්තීය හිතවතුන් සහ ශිෂ්ය ශිෂ්යාවන් මෙන්ම දේශපාලන සගයින්ද එකතු විය. ඊටත් අමතරව විවිධාකාර අගහිඟකම් ඇති බොහෝ දෙනෙකුට ජානකී පිහිට වූවාය. කොහුවල නිවස මෙවැන්නන්ගෙන් නිතරම පිරී තිබුන බව දැනගන්නට ලැබුනේ ජානකීගේ අවාසනාවන්ත මරණයෙන් පසුවයි. ඒ සියලු දෙනා මේ පුවතින් නිසැකවම සසල වන්නට ඇත. 
 
ජානකී අප අතරින් වෙන්ව ගොස් මාසයක් ගතවී ඇත. එදා මෙන් අදත් අද මෙන් හෙටත් ජානකී යන නාමය විශේෂණය වන්නේ 'ආදරණීය' යන වචනයෙනි. ජානකී ආදරණීය වන්නේ ඇය අප සියලු දෙනාටම නොමසුරුව බෙදූ ලෙන්ගතුකම නිසා ය. මාසයකට පසු මෙසේ ජානකී ගැන ලියද්දී නැවත නැවතත් සිහිවන්නේ ජානකී සහ අප සමග පේරාදෙණිය සරසවියේ එකම වසරේ සිටි ගාමිණි තිලකරත්නගේ හැඟුම්බර සටහනයි.
 
'අවුරුදු ගාණකට පෙර දුම්බරදි මට හමුවූ ජානකී පසු කාලීනව මගේ අසල් වැසියා වූ ඒ හිතුවක්කාරී චරිතය මට මෙන්ම මගේම පවුලට අම්මා කෙනෙක් විය.ඇය නොමැති ඉදිරි කාලය....'
 
ඉන් එහා? ඔහුට මේ පැනයට පිළිතුරක් නැත. අපටද නැත. ඒ තරම් ජානකී ආදරණීය විය.

0 comments: