Showing posts with label හරිත් ගුණවර්ධන. Show all posts
Showing posts with label හරිත් ගුණවර්ධන. Show all posts

10 May 2020

කිං බානට් ට බය අය අත උස්සන්න බලන්න

දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු ප්‍රධාන කතෘ ගාමිණි සුමනසේකර දවසක් හරිත් ගුණවර්ධනට මෙහෙම කියල තියෙනවා: 'ඔයා බුදු හාමුදුරුවෝ ‌ ගැන ලියාගෙන ආ‌වත් දෙපාරක් කියවන්නෙ නැතුව මීට පස්සෙ මං පාස් කරන්නෙ නෑ....' කතෘ කෙනෙක් තමන් යටතේ වැඩකරන කෙනෙක්ට නැත්තම් තමන්ගේ පත්තරයට තීරු ලිපි නැත්තම් කුමන ආකාරයේ හෝ ලිපි එවන කිසිම කෙනෙකුට එහෙම කියන එකේ වරදක් මම දකින්නේ නෑ. අවුලක් වුනොත් අවසානයේ වග කියන්න ඕන කතෘ නේ.

අනිත් අතට ඒ වගේ දෙයක් කියන්න සිද්ද වෙනවා නම් කාට හරි ඒ ලියන්නා දක්ෂයෙක් විය යුතුමයි. හරි, ටිකක් දඩබ්බර වෙන්න පුළුවන්, විශ්වාස කරන්න අමාරු වෙන්නත් පුළුවන්, ඒත් දක්ෂයෙක් වෙන්නම ඕන. තීරු ලිපි ලියන කෙනෙක් ට තමන්ව බිත්තියට හේත්තු කරන්න තරම් හැකියාවක් තියෙනවා නම් කතෘ කෙනෙක් වාසනාවන්තයි කියල කියන්නත් පුළුවන්. එහෙම හැකියාවක්, එඩිතර කමක් තියෙන අය අඩු නිසා.

හරිත් දිවයිනට ලිව්ව තීරු ලිපියේ ශීර්ෂය 'කින් බානට්.' 'කිං බානට්' කියවන්නම දිවයින ගත්ත අයත් ඉන්න ඇති අනිවාර්යයෙන්ම. පසු කාලයකදී 'කිං බානට්' වෙනත් රටක් හොයාගෙන ගියා. ඒ 'ලක්බිම'. කොහොම වුනත් කිං බානට් රජකම් කලේ 1993 සිට 2013 දක්වා. රටවල් දෙකේම සතුරු බලවේග කිං බානට් ට නපුරුකම් කෙරුවා.

දිවයිනට ලියන කාලේ කිං බානට්ට මුකවාඩම් වැටුනේ දේශපාලනය නිසා. කිං බානට් ගේ තීරුව නිසා ප්‍රබල දේශපාලනඥයෙක්ට හොඳටම රිදුනා. එයාට හිතවත් මාධ්‍යවේදියෙක් පත්තරේ අයිතිකාරයාට මඩ ගහන්න පටන්ගත්තා. 'නවත්තන්න නම්, කිං බානට් කොලම නවත්තන්න.' එහෙමයි තර්ජනය කෙරුවේ. නැවැත්තුවා. ඒත් නොලියු ලිපි වලටත් ගෙවීමක් කෙරුවා. වාර්තාවක්.

ලක්බිමට ලියන කාලෙත් ඔහොම දෙයක් වුනා. උප කතෘ  ප්‍රේමසිරිට කතෘ සුන්දර මෙහෙම දෙයක් කිව්වා: 'හරිත් ගේ කොලම පාස් කරලා ලෙඩක් වැටුණොත් වගකීම සබ් එඩිටර්ගේ!' කිං බානට් කොලම පාස් කරන්න සූදානම් සබ් එඩිටර් කෙනෙක් හිටියේ නෑ. හරිත් ලියනවා. පළවෙන්නේ නෑ. ඒත් ගෙවීම් දිගටම කෙරුනා. වාර්තාවක්. එකල ප්‍රධාන විධායක නිලධාරී ගයිරික පේරුසිංහ හරිත්ට මෙහෙම කියල තියෙනවා: 'අවුරුද්දක් වුනත් ගෙවන්නම්...ඔයාගේ වරදක් මෙතන නැහැ.' ගයිරික වෙනස්. ගයිරික ගැන වෙනම ලියන්න ඕන.

කසුරි (කරුණාදාස සූරියආරච්චි) දිවයිනේ වැඩ බලන කතෘ හැටියට් කටයුතු කළ සමයකත් කිං බානට් කොලම නැවැත්තුවා. අවසානයේ නැවතුනේ කටුගේ කඩුව සම්බන්ධව ලියල. ඒ 2014 දී.
 
ගාමිණි සුමනසේකරට අර වගේ දෙයක් කියන්න වුනේ හරිත් ගාමිණිව ගාමිණීගේ පත්තරයේම පල වෙන කොලමක් හරහා විවේචනය කරපු නිසයි. ගාමිණිටවත් ඒක අවබෝධ වුනේ සරත් විජේසුරිය පැහැදිලි කෙරුවට පස්සේ. සිංහල සාහිත්‍ය ප්‍රජාවේ දේශපාලනය ගැන යමක් ලියන්න හරිත් සරච්චන්ද්‍රගේ මරණය නිමිති කර ගත්තා. අවසානයට ලිව්වේ මෙහෙම දෙයක්: 'සරා සඳ බැස ගියා...සදා ගඳ පොරවල් ඉතුරු වුනා.'

කොහොම කොහොම හරි කිං බානට්ට ඉන්න තැනක් දෙන්න එක පත්තරයක්වත් සූදානම් නෑ. ඉතින් හරිත් කිං බානට් සමග වෙබ් අඩවියකට පිවිසෙන්නයි යන්නේ. මෙන්න ඇඩ් එක --'සිව් වතාවක් තහනමට ලක් වූ, කිසිදු මාධ්‍යයක ඉඩක් නැති, රටට ආදරෙන් ලියු "කිං බානට්" නිදහසේ ගමන් අරඹයි...!'

හරිත්ට මග පෙන්වූ, හරිත්ට ශක්තිය දුන්, හරිත් ශක්තියක් මිස තර්ජනයක් හැටියට නොදැකපු විශිෂ්ටයින් දෙන්නෙක් ගැන ඒ ඇඩ් එකේ සඳහන් වෙනවා. මෙන්න මෙහෙම....

"අයිසේ...,තමුසෙ ළග අමුතු වචන සෙට් එකක් තියෙනවා නේද...? ඔය වචන ටික දාලා ලියනවකෝ‌ කො‌ළම් එකක්..." - එඩ්මන්ඩ් රණසිංහ

"මං හිටියනං රජෝ‌ ඔහො‌ම ලියන්න දෙන්නෙ නෑ..මාව පාවා දුන්නා වගෙ මේ මිනිස්සු ඔයාවත් පාවා දෙයි.." - දයාසේන ගුණසිංහ

හරිත් 'කොන්ට්‍රෝල්' නැහැ. ඇත්ත. හරිත්ගේ ලිවිල්ල නිසා අමාරුවේ වැටෙන්නත් පුළුවන්. ඇත්ත. ඒත් මොන අමාරුවේ වැටුනත්, ඒ වගේ කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්කමක් තියෙන අය මේ රටේ පත්තර වල ඉඳල තියෙනවා. හරිත් දඩබ්බරයි. හිතුවක්කාරයි. එහෙම අය පත්තර වල අඩුයි. එහෙම අය ගෙන් වැඩ ගන්න නම් පරිනතකමක් තියෙන්න ඕන. එහෙම කතුවරුන් නැහැ කියලයි හරිත් කියන්නේ. 

කොහොම වුනත් කිං බානට්ලා ඉන්න එක හොඳයි. හරිත් වගේ අය ඉන්න ඕන. හරිත් රටට ආදරෙයි. ආදරය පැත්තකින් තියමු. උත්තේජනය ආදරය වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වන්නත් පුළුවන්. ඒ මොහොතේ මතු කළ යුතුයි කියල හිතනවා නම් තීරු ලිපි කරු එය මතු කළ යුතුයි. කාට රිදුනත්. තීරු ලිපි වල තීරක ගුණය එයයි. ගාමිණිගේ පත්තරේ ගාමිණිට ෂොට් එකක් දෙන්න හදන එකම එඩිතරකමක්. ඒකෙ තක්කඩිකමක් නැත්තේ නෑ. නපුරුයි, සදාචාර විරෝධීයි කියලත් කියන්න පුළුවන්. හරිත් ෂොට් දුන්නේ ගාමිණිටම නෙවෙයි. අවුරුදු ගානක් හැම ඉරිදාවකම කිං බානට් කොලම ගියා. ගාමිණි ගැන එකයි.  කොහොම වුනත් අඩුම තරමින් ගාමිණි සුමනසේකර දෙපාරක් කියවලා හරි හරිත් ලියන ලිපි පාස් කරන්න සූදානමක් තිබුනා. එහෙම කෙනෙක් වත් අද පත්තර වල නැහැයි කියලයි හරිත් කියන්නේ.

දැන් කිං බානට් තුමා නැවත කරලියේ. ඇඹරෙන්න දේවල් ඇතිනම් බිය වන්න.