25 January 2018

සඳ ට නොලියු කවියක්



සඳ, සඳ කැන්, සඳ රැස්, සඳ වතුර, සඳ සිසිල, ලා සඳ, අඩ සඳ, පුර සඳ, සරා සඳ.  සඳ ගැන නම් කවි එමටයි.  අම්මට දෙවෙනි වෙන්නේ සඳ කියලත් හිතෙනවා.  ප්‍රේමය ගැන කියන්න ඕන නම් හඳේ එල්ලුනා නම් වැඩෙන් බාගයක් ගොඩ.   ආදරේ වෙන්න ඕනෙමත් නැහැ.  හුදෙකලා ව, කාන්සිය, නිදහස, අහිංසකත්වය, විරහ වගේ දේවල් ගැන කියන්න ඕනේ නම් හඳෙන් බිඳක් එකතු කරගන්නයි තියෙන්නේ.  ඒ තරම් හඳ ප්‍රබලයි. සෞම්‍යයි.  සුන්දරයි.


"අන්න බලන්න හඳ!" එහෙම කිව්වේ ලොකු දුව.  දුවට ඒ වෙනකොට වයස අවුරුදු 13ක් විතර ඇති.  කිව්වේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කිව්වනම් මහගම සේකර මතක් වෙන්න තිබුන.  වාහනේ හිටියේ දුවල දෙන්නයි මමයි. අපි බැලුවා.  ඇත්තටම ලස්සනයි.  හඳයි වලාකුළුයි දැකලම නැති රටාවක.  පිටපත් කරන්න බැරි තරමට ම ලස්සන කවියක් වගේ.    

"ලස්සනයි."  එච්චරයි කියන්න පුළුවන් වුනේ.  දුවලා දෙන්නටම තේරුනා.  

අපි තුන්දෙනා මොහොතකට නිහඬ වුනා.  ඊට පස්සේ චූටි දුව මෙහෙම දෙයක් කිව්වා: "වලාකුළු නැති අහසක පුරහඳ පායලා තියෙද්දී මට හිතෙන්නේ හඳ කියන්නේ අහසේ තියෙන සිදුරක් කියලයි."

ඒ විදිහට හඳ ගැන හිතලම නැති නිසා කිසිම දෙයක් කියාගන්න බැරිවුනා.  හිතන්න නම් දේවල් තිබුනා.

දන්න විද්‍යාව 'නෑ එහෙම නෙවෙයි' කියල ඒත්තු ගන්නන්න හැදුවට හිත හිතුවක්කාර වුනා.

ඔව්.  පුර හඳ කියන්නේ අහසේ තියෙන සිදුරක්.  ගුරුවරු අපට කියල දීල තියෙන්නේ බොරු.  විශ්වයේ කවුරු හරි අටවලා තියෙන පියනකින් මේ සිදුර ටිකෙන් ටික වැහෙනවා.  කිසිම එළියක් පේන්නේ නැති වෙනකන් වැහුනට පස්සේ ආයෙත් හෙමීට පියන පැත්තකට වෙනවා.  මේකට මාසයක් ගතවෙනවා.  එහෙම වෙන්න ඕන.

සඳ එලිය කියන්නේ පරාවර්තනය වුන සූර්යාලෝකය නෙවෙයි.  අපි දන්නේ නැති ප්‍රභවයකින් අපි 'සඳ' කියල හඳුන් වන සිදුර තුලින් පිටවෙලා එන ආලෝකයකටයි අපි සඳ එලිය කියල කියන්නේ.  

"සඳ-සිදුරෙන් එහා තියෙන විශ්වයේ මොන වගේ ලෝක ඇතිද?" මම මගෙන් ම ඇහුව.  
ටික වෙලාවකට පස්සේ 'විද්‍යාව' මගේ හිතට වද දෙන්න පටන් ගත්ත.  සඳ සිදුර ගැන හිතන එක එතනින් නැවතුනා.  ඒත් සඳ කෙසේ වෙතත් හිතන විදිහ, දේවල් බාර ගන්න විදිහ ගැන කල්පනා කරන්න පටන් ගත්තා.  

පෙනෙන දෙයින් බොහෝ දේවල් සැඟවිලා තිබුනත් මතුපිට විනිවිදින එක අමාරු නිසා නැත්තම් කිසිම දෙයක් සැඟවිලා නැත්තම් සඟවලා නැහැයි කියල හිතෙන නිසා නැත්තම් ඒ විදිහට හිතන්න පහසු නිසා ද ඉන් එහා දෙයක් තියෙන්න බැහැ කියල අපි හිතන්නේ? කියල තියෙන විදිහට ම ද දේවල් සිද්ද වෙන්නේ?  කියල දුන්නේ ගුරුවරයෙක් නිසා ද වැඩිය හිතන්නේ නැතුව පිළිගන්නේ?  පිළිගැනීමක් තියෙන කෙනෙක් කිව්වා නිසාද පිළිගන්නේ?  පොතක තිබුන නිසා ද?  හැමෝම කියන නිසා ද? 

චූටි දුව කාලාම සුත්‍රය ගැන අහල නෑ. ඒ කාලේ එයාල අවුරුදු 11ක් විතර ඇති.  ඒත් හඳ කියන්නේ මොකද්ද කියල දුවගේ ගුරුවරුන් කියල දෙන්න ඇති.  චන්ද්‍රග්‍රහණ දුව දැකල තියෙනවා.  ඒවා සිද්ද වෙන්නේ කොහොමද කියලත් එයා දැනගෙන ඉන්න ඇති.  හඳ ගැන  සින්දු අහල තියෙනවා කියලත් තියෙනවා.  සේකර ලිව්වා 'අන්න බලන් සඳ' අහල ත් ඇති, කියලත් ඇති.  

ඒ වුනාට වලාකුළු නැති අහසක පුරහඳ කියන්නේ සිදුරක් කියන සිතුවිල්ල ට එයාගේ හිතේ ඉඩක් තිබුනා.  ඒකම කවියක්, මම ඊට කලින් අහලම නැති. 



Reactions:

1 comments:

Anonymous said...

සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com