01 February 2018

ලාස්ට් මෑන් හැව් චාන්ස්


පොඩි කාලේ ක්‍රිකට් ගහද්දි මැච් එක පටන්ගන්න ඉස්සෙල්ල සමහර දවස්වල පොඩි අග්‍රීමන්ට් එකකට එන්න වෙනවා. ලාස්ට් මෑන් හැව් චාන්ස් ද නැත්තම් ලාස්ට් මෑන් නෝ චාන්ස් ද කියල.  කට්ටිය අඩු නම් නැත්තම් ඉන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නම් සාමාන්‍යයෙන් 'ලාස්ට් මෑන් හැව් චාන්ස්' කියල පිල් දෙක තීන්දු කරනවා.  

එහෙම තීන්දු කරාට පස්සේ තවත් කාරණයක් සාකච්ඡා වෙනවා.  ඒ ලාස්ට් මෑන් ට අදාලව 'රන් අවුට්' ගැන.  රනින් විකට් ද නැත්තම් එනි විකට් ද කියල.  

මැච් එකේ තත්ත්වෙ අනුව ලාස්ට් මෑන් ගේ භූමිකාව තීරණාත්මක වෙන්න පුළුවන්.  කණ්ඩායම් ක්‍රීඩාවක් නිසා හැමෝගෙම දායකත්වය වැදගත් වෙනවා.  විශේෂයෙන්ම ඉදිරි පෙළ පිතිකරුවෝ හොඳට ක්‍රීඩා කරනවා නම් ලාස්ට් මෑන්ලා බින්දුවට අවුට් වුනත් ගානක් නැහැ. ක්‍රිකට් වල 'ලාස්ට් මෑන් හැව් චාන්ස්' වැදගත් වෙන්නේ ඉදිරි පෙළ පිතිකරුවෝ අසාර්ථක වෙනකොටයි.  ලාස්ට් මෑන් ල සමහර තරග ගොඩ දාල දෙන අවස්ථා නැතුව නෙවෙයි. ඒත් කලාතුරකින්.

ක්‍රිකට් වල එහෙම වුනාට දේශපාලයේ ලාස්ට් මෑන්ලා වෙනස්.  කෙනෙක් 'ලාස්ට් මෑන්' නැත්තම් 'ලාස්ට් වුමන්' වෙන්නේ දේශපාලන හිතවතුන් එයාලව අතහැරියට පස්සේ. නැත්තම් හැමෝම ඝාතනය වුනාට පස්සේ. එහෙමත් නැත්තම් හැමෝම විකිණුනාට පස්සේ.  ලාස්ට් මෑන් හෝ ලාස්ට් වුමන් වෙන්නේ මතයක්, දැක්මක් නැත්තම් යම්කිසි දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් අන්තිම මොහොත දක්වාම සටන අතහරින්නේ නැති අය. තර්ජන, පීඩා වගේම අවලාද ද ඉවසගෙන ඉන්න බැරි අයට ලාස්ට් මෑන්/වුමන් වෙන්න බැහැ.

ලාස්ට් මෑන්/වුමන්ලත් අවුට් වෙනවා, ඇත්ත.  ඒත් අවුට් වෙනකන් දැඩි අධිෂ්ටානයකින් සියලු තත්ත්වයන් වලට මුහුණ දීම ම ජයග්‍රහණයක්.  පරාජයක් වගේ පෙනුනත්, අවුට් වුනත්, නොබියව සටන තුල සිටීම ත් ලොකු දෙයක්.  මැච් එක පැරදුනත් සීරීස් එක දිනන්න බැරි නැහැ.     

විද්‍යාවේ සීමා පුළුල් කරපු හැමෝම එක්තරා ආකාරයක ලාස්ට් මෑන්/වුමන්ලා.  ඕනෑම ක්ෂේත්‍රයක ට අලුත් දෙයක් එකතු කරලා ඇත්තේ බොහෝ අවස්ථා වලදී ලාස්ට් මෑන්/වුමන්ලා.   

'ලාස්ට් මෑන් නෝ චාන්ස්' කියන්නේ කණ්ඩායම් දෙකක් එළඹෙන පොදු තීන්දුවකට ම නෙවෙයි.  සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රවාහය හරියි, ඒක වෙනස් කරන්නම බැහැ යි කියල ඒත්තු ගන්නන්න හදන අය කියන නැත්තම් නොකියා කියන දෙයක්.  

කියන්නේ නැත්තම් නොකියා කියන්නේ මේ වගේ දෙයක්: 'ඔය සටන අත්හරින්න. ඕක පරදින සටනක්. ඕව කරලා හරියන්නේ නැහැ.  ඔහොම කරලා හරි ගිය කෙනෙක් නැහැ.  ඕව විකාර වැඩ. පිස්සු වැඩ.  පිස්සෙක් වෙන්න එපා.  ඔය නාඩගම නවත්තපන්.  අනිත් හැමෝටම හොඳ නම් තොටත් හොඳ වෙන්න ඕන.'  

ඒ කියන්නේ 'අවුට් වෙයන්' නැත්තම් 'තරඟය අතහැරපන්' කියල.  ලාස්ට් මෑන්ට චාන්ස් තිබුනත් නෑ වගේ.  ඒ විතරක් නෙවෙයි, ෆස්ට් මෑන්ටත් ඇත්තටම 'නො චාන්ස්' කියන එක.  

ප්‍රතිවාදියා ඔහොම් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් සමහර අවස්ථා වලදී තමන්ගේ පිලේ අයත් කියනවා.  ඒත් බරපතලම තත්ත්වය තමයි තමන් ම තමන්ට ඔය බොරුව කියන එක.  ඒ කියන්නේ චාන්ස් තිබ්බත් නැතත්, ලාස්ට් මෑන්/වුමන් වුනත් නැතත් 'නො චාන්ස්' මාසසිකත්වයක් ඇති කරන එක.  

ඒත් ප්‍රබලයි කියන, ඉදිරි පෙළේ කියන, ප්‍රවීනයි කියන පිතිකරුවන්ට වැඩිය ගුණයක් ලාස්ට් මෑන්/වුමන් ට තියෙනවා.  එයාගේ වැරැද්දකින් මිස වෙන කාටවත් එයාව රනවුට් කරන්න බැහැ.  කකුල පැටලිලා රනවුට් වෙන්න පුළුවන්.  පන්දුරකින්නව අවතක්සේරු කරපු නිසා රනවුට් වෙන්න පුළුවන්. කණ්ඩායමක්, සමූහයක් අවශ්‍ය නැහැ කියනවා නෙවෙයි, ඒත් 'ලාස්ට් මෑන්/වුමන්' තත්වයකට ආසන්න වෙද්දී කණ්ඩායමක් කියල දෙයක් නැති වුනත් සමූහය වෙනුවෙන් සටන් වදින ලාස්ට් මෑන්/වුමන්ලා විරලයි.  සුවිශේෂයි.  

එවැනි ලාස්ට් මෑන්ලා හෝ ලාස්ට් වුමන්ලා චාන්ස් දෙනව මිසක් චාන්ස් ඩැහැගන්නේ වත්, ඉතුරු කරගන්නේ වත් නැහැ.  බොහෝ අවස්ථාවල සමූහයට චාන්ස් එකක් තියෙනවා නම් තියෙන්නේ ලාස්ට් මෑන්ලා හෝ ලාස්ට් වුමන්ලා ට චාන්ස් තියෙන නිසා. නැත්තම් දැඩි අධිෂ්ටානයෙන් චාන්ස් නිර්මාණය කරන නිසා.


1 comments:

නිලන්ත පියසිරි said...

ලාස්ට මෑන් ගිහිල්ලා පොඩි කාලේ අල්ලපු ගමට එරෙහිව මැච් එකක් දිනුවා. මතක් වෙනකොට හිනා යනවා.