22 February 2018

දෑස නිසා....



ලෙස්ටර් ගේ ෆිල්ම් එකක්. අවුරුදු 42ක් පරණයි.  ගුණසේන ගලප්පත්ති ගේ කතාවක්. ජෝ, ශ්‍රියාණි, රවීන්ද්‍ර රන්දෙණිය, දෙනවක හාමිනේ තමයි ප්‍රධාන චරිත රඟපෑවේ.  ඒත් මේ දෑස වෙනස්. 

සිද්ධිය පරණයි, ඒත් ෆිල්ම් එක තරම් පරණ නෑ. තිර රචනයක් නෑ. අධ්‍යක්ෂණයක් නෑ. චරිත තුනයි. කෙටියි. 

කොළඹ රස්සාව කරන තාත්තෙක්, සති අන්තයේ කෑගල්ල ට යන. අවුරුදු තුනක විතර දුවක්.  වෙලාව උදේ 9 විතර ඇති. තාත්තගේ කටහඬ ඇහිලා දුව මිදුලට දුවගෙන එනවා. තාත්තා සුපුරුදු විදිහට පහත් වෙලා දුවව බදාගන්නවා. දුව හිනා වෙලා තාත්තගේ ඇස් දෙකට එබෙනවා. මෙහෙම ප්‍රශ්නයක් අහනවා:

"අප්පච්චි, අප්පච්චිගේ ඇස් වල මං ඉන්නවා...මගේ ඇස් වල අප්පච්චි ඉන්නවද?"  

 "ඔව් චූටි, ඉන්නවා නේ!" 

ඊට පස්සේ වෙන කතා.  දුව මිදුලේ එයාගේ සුපුරුදු සෙල්ලම්. තාත්ත ගේ ඇතුලට ගිහින් මාස හයේ චූටි දුව හුරතල් කරනවා. ඒ අතරේ බොහෝ දේවල් කල්පනා කරනවා. දුවගේ ඇස් දෙකේ දැක්කේ තමන් ගේ රූපය ද? වෙන දේවල් තිබුනේ නැද්ද? තමන්ගෙන් මේ වගේ ප්‍රශ්න අහනවා. විවිධ උත්තර හිතට එනවා.  පොඩි දරුවා හුරතල් කරන අතරේ ඒ උත්තර හිත තුල එහාට මෙහාට පෙරළනවා. විවිධ දේවල් හිතට එනවා. ඇස් වල ලැගුම් ගන්නවා. ඉවත් වෙනවා. වෙනත් දේවල් එනවා. යනවා.   

ඈතට දිවෙන වෙල් යායක්, ඉමක් නැති අහසක්, සිතුවිලි වර්ණවත් කරන රටාවන්, අහඹු දේවල් හදගැස්ම ට තනුවක් සපයන, දුටු සැනින් දියවෙලා යන පාරවල්. ඒ ඇස්වල තව දේවල් මැවෙන්න පටන් ගත්ත. හසරැල් වගේම කඳුළු, බිඳ වැටීම් වගේම අධිෂ්ටානය, නැවත නැවත නැවත නැවත නැවතීම් සහ පණ ගැන්වීම්. යෙහෙලියක්, ආදරවන්තියක්, මවක්, මිත්තනියක්, චූටි දරුවෙක්. මේවා පෙනෙන්න පටන් ගත්තා.

කවියට පෙරලගන්න බැරි සතුටක්, දරාගන්න බැරි දුකක්.  තුවාල වුනු දණහිසක්, බිඳුණු හිත් සනසන බැල්මක්. හදවත ස්පර්ශ කරන ලෙන්ගතුකම්, හිත කළඹන ප්‍රේමයන්, මුළු විශ්වයම වැළඳගන්න දිග හැරෙන අත්. ඒ අත් ගසා දමන නපුරු මිනිස්සු. බිලිඳෙකුගේ හුස්ම පොද ඉවසගන්න බැරිව වෙව්ලන ඇඟිලි තුඩු. මේ සේරම ඒ ඇස් වල දැක්ක.  

ඉබේටම වගේ ඇස් පියවුනා.  කඳුලක් දෙකක් වෑහුනා. දුවට කියන්න ඕන නමුත් දුවට තවම නොතේරෙන දේවල් තමන්ටම කියා ගත්තා.

"දුවගේ ඇස් වල මට මාව දකින්න අවශ්‍ය නැහැ.  මම ආගිය තැන, දැක්ක දේවල්, කරපු නොකරපු දේවල්, කීව දේවල්, කියාගන්න බැරි වුන දේවල්....මේ කිසි දෙයක් මට දකින්න අවශ්‍ය නැහැ. දුවගේ ඇස් වලින් දැක ගන්න දේවල් ගොඩාක් තියෙනවා. දැකගත්තනම් මම ගොඩාක් සතුටු වෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම දකින්න වෙන්නේ නැහැ දුවට. මට හිතාගන්නවත් බැරි දේවල් දුව දකියි. ඒක හොඳ දෙයක්. කොහොම වුනත් ඇස් ඇරලා හැමදෙයක් දිහාම බලන්න. බලාගන්න බැරි දේවල් ඇස් වහගෙන බලන්න පුළුවන් වෙයි."

චූටි දුවට නින්ද ගිහින්. එයාව ඇඳේ තියල, රෙද්දකින් පොරවලා, වටේටම කොට්ට පවුරක් හදල ඉවර වෙනකොට ලොකු දුව කතා කෙරුව.

"අප්පච්චි එන්න. අපි දැන් ගල් සාදු ට මල් තියමු." 

කියන දේ තේරුනේ නැතත් දුව ගේ කීමට අවනත වුනා.  දුව අතින් අල්ලගෙන තාත්තව මිදුලට ඇදගෙන ගියා. ගල් බැම්මක් උඩ පූජාවක්. 'ගල් සාදු' තුන්මුලස් ගලක්. 'සාදුට' ඉදිරියෙන් මල්. 

"දැන් අපි වඳිමු."

වැඳීමට ගියේ තත්පර කීපයක් විතරයි.

"දැන් හරි." 

දුව දුවගේ ලෝකයේ. තාත්තා එයාගේ ලෝකයේ. දුවගේ ඇස් වල තාත්තා නැහැ. ඒත් තාත්තගේ ඇස් වල දුවල ඇරෙන්න වෙන කිසි දෙයකට ඉඩක් තිබුනේ නැහැ.  

Reactions:

0 comments: