08 February 2018

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?


ගමේ නම කුඩමාදූව. තියෙන්නේ කොට්ටාවයි පිලියන්දලයි අතර.  ගමේ ළමයින්ට සහ තරුණයින්ට සෙල්ලම් කරන්න තැනක් තිබුනේ නැහැ.  එයාල සෙල්ලම් කෙරුවේ පන්සල් වත්තේ නැත්තම් රබර් වතු වල.  ලස්සනට අවුරුදු උත්සවයක් වත් කරන්න තැනක් තිබුනේ නැහැ.  

සුජී කියල තමයි එයාට හැමෝම කිව්වේ.  නම සුජීව පුෂ්පකුමාර දොළොස්වල. ගමේ සැලූන් එක කරන්නේ සුජී.  සුජී ට වගේම ගමේ අනෙක් තරුණයින්ටත් ක්‍රීඩා පිටියක් අවශ්‍ය වුනා.  ඉඩම් තිබුන ට අයිතිකරුවන් ඒවාට මිලියන් ගණන් ඉල්ලුවා. 

පන්සලේ ලොකු හාමුදුරුවෝ, කලවැල්ලාරාගම චන්දානන්ද ස්වාමීන් වහන්සේ සුජීලට කිව්වේ හැමෝම එකතු වෙලා පිළිවෙලකට මේක කරන්න කියල යි.  සුජීලා පත්‍රිකාවක් මුද්‍රණය කරලා බෙදුවා. හැමෝම පන්සලට කැඳෙව්වා . ඉතින් කුඩමාදුව ක්‍රීඩා සමාජය නිලධාරීන් තෝරලා අරමුදලක් පටන් ගත්ත. ගමේ අය සල්ලි එකතු කලාට රුපියල් 20,000 යි එකතු වුනේ.  දේශපාලනඥයින්  ට  කිව්වට කිසිම දෙයක් කෙරුවේ නැහැ.  

"ගමේ මී හරක් බලාගන්න ඉන්දික දවසක් කිව්වා අත්හැරලා තියෙන කුඹුරක් විකුනන්නනවා කියල.  විකුනනවා කිව්වට අයිතිකාරයා මුලින් අදිමදි කෙරුව.  සුජීලා හාමුදුරුවොත් එක්ක ගිහින් අයිතිකාරයාව වැඩේට කැමති කර ගත්තා.  ගමේම ඉන්න නීතීඥ මහත්තයෙක් ඔප්පුවේ අවුල් නිරවුල් කරන්න ඉදිරිපත් වුනා.  මිනින්දෝරුවෙක් අල්ලාගෙන ඉඩම මැන ගත්තා.  ආයෙත් සල්ලි එකතු කරන්න පටන්ගත්ත.  ඉඩම මිලදී ගත්තා. ඒත් ඉඩම සකස් කරන්න තව ලොකු ගානක් හොයන්න වුනා."

සුජී විස්තර කෙරුවේ එහෙමයි.  මහා ඇමති දවසක් ඇවිත් මිලියන 3ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.  ගමෙන් සල්ලි එකතු කරන්න අවශ්‍ය නැහැ කියලත් එතුමා කියල තියෙනවා.  ඒ වුනාට අවසානයේ එයාගේ ලේකම් කියල තියෙන්නේ වැඩේ වෙන්නේ නැහැ කියලයි.  සුජීලා අසරණ වුනා.  ඒත් වැඩේ ඇත හරියේ නැහැ.  ටික කාලයක් යන්න දීලා ආයෙත් සල්ලි එකතු කරන්න පටන්ගත්තා.

"අපි ගෙයින් ගෙට ගියා.  සමහරු සැකෙන් බැලුව.  සමහරු බැන්නා. ඒත් බොහෝ දෙනෙක් උදව් කෙරුව," සුජී එහෙමයි කියන්නේ.

පිට්ටනියට යන්න පාරක් තිබුනේ නැහැ මුලින්.  ඒක හදාගන්නත් තව ඉඩමකින් පර්චස් ගණනක් ගන්න සිද්ධ වුනා.  ඉඩමට පිවිසෙන්න පාලමක් හදා ගන්නත් ඕන වුනා.  සජීලා සරුංගල් උළෙලක් සංවිධානය කරලා ඒකෙන් ලැබුන ආදායමෙන් ඒ වැඩෙත් කර ගත්තා. 

ගමේ හැමෝම වගේ උදව් කෙරුව.  සල්ලි දුන්නා.  උපදෙස් දුන්නා. තාක්ෂණික කාරණා විසඳගන්න අදාළ දැනුම තියෙන අයව සම්බන්ධ කරලා දුන්නා.  ඩෝසර් කරන්න ආව අයට කෑම හදල දුන්න.  තේ හදල දුන්නා.  විශේෂයෙන්ම ලොකු හාමුදුරුවෝ දිගටම සුජීලව උනන්දු කෙරුව.  හාමුදුරුවෝ ලොකු ශක්තියක් වුනා. 

දැන් වැඩේ අවසන්.  

"අපි මේ පාර පිරිතකුත් කියල අවුරුදු උත්සවය තියන්නේ අපේම ග්‍රවුන්ඩ් එකේ," සුජී ආඩම්බරයෙන් කිව්වා.  
ඒත් සුජී ම කියන විදිහට මේක සුජී ගේ වැඩක් නෙවෙයි.  මුළු ගමේම වැඩක්.  ගම විසින්, ගම සමග, ගම සඳහා කරපු වැඩක්.  තව අවුරුදු ගානක් ගියාට පස්සේ කුඩමාදුව ට ක්‍රීඩා පිටියක් ලැබුනේ කොහොමද කියල කවුරුවත් දන්නේ නැතිවෙයි.  එහෙම තමයි වෙන්නේ.  ඇතැම් විට කව්රුහරි කියයි අහවල් ඇමති තුමා තමයි මේ වැඩේ කරලා දුන්නේ කියල.  ඒවා එහෙම තමයි සිද්ධ වෙන්නේ.  

ඒ කොහොම වුනත් පරම්පරා ගානකට සෙල්ලම් කරන්න, උත්සව පවත්වන්න තැනක් තියෙනවා.  ගම කාටවත් දෙන්න අවශ්‍ය නැහැ.  ගම්මු හිඟන්නෝ නෙවෙයි.  

සුජී කියන විදිහට වෙන්න ඕනේ පොඩි දෙයක්: "එකමුතු කමයි උවමනාවයි තියෙනවා නම් අපට කරන්න බැරි දෙයක් නැහැ!"  එහෙම කිව්වේ අඩි හප්පලා මහා හඬින් නෙවෙයි.  පුංචි සිනහවක් එක්ක හීන් හඬින්. ඒ සුජී ගේ හැටි.  ඒ ගමේ මිනිස්සුන්ගේ විදිහ. 

ගම අයිති සුජීලට.  ගම කරන්නෙත් හදන්නෙත් සුජීලමයි.  එච්චරයි. 

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි"

Reactions:

1 comments:

දේශක යා said...

සුජීට පෝන් එක දෙන්න...

කුඩමාදුවෙ මගෙත් යාලුවෙක් ඉන්නවා. යන්න ඕනි ක්‍රිකට් ගහන්න