එඩුවාදෝ ගලියානෝ උරුගුවායි රටේ ලේඛකයෙක්. ගලියානෝ මිය ගියේ මීට වසර තුනකට පෙර යි. 'දවස් හි දරුවෝ' ගලියානෝ අවසානයට ලියපු පොත යි. වසරේ හැම දවසකම සිදුවුන විශේෂ දෙයක් ගලියානෝ සටහන් කරලා තියෙන්නේ පුංචි අදහසක් නැත්තම් විශ්ලේෂණයක් සමග යි.
අගෝස්තු 11 දා සටහන මෙයයි:
"අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ මෙන්ම ඇමරිකාවේ ස්වදේශිකයින් අතරේද 'පවුල' අපූරු විදිහට අර්ථකථනය වෙනවා. පවුල කියන්නේ ගම. ගම වගේම ගමේ සියලු දෙනාම, ඉන්න සහ මියගිය අයද ඇතුලත් ව. ඒ විතරක් නෙවෙයි. පුපුරු ගසන ගින්නක් හරහා ඔබේ පවුල ඔබව අමතනු ඇත. ඒ වගේම ගලන දිය පාරක ස්වරය ද, ආශ්වාස ප්‍රාශ්වාස කරන කැලයක් ද, හෙණ හඬක කේන්තිය ද, හාදු දෙන වැස්සද, ඔබේ පියවර පිළිගන්න කුරුළු නාදයද අන් කිසිවක් නොවේ ඔබේ පවුල ඔබට ආමන්ත්‍රණය කිරීම ම යි."
මට තේරෙන විදිහට ගලියානෝ මේ කියන්නේ සහසම්බන්ධතාවයන් ගැන වෙන්න ඕන. වැලි කැටයක විශ්වය දකින්න පුළුවන් කියන්නේ වැලි කැටයක් තුල වුනත් විශ්වයක් පුරවන්න තරම් දේවල් වලට ඉඩක් තියෙන එකයි. ඒ කියන්නේ ඕනෑම දෙයක් තුල වෙන ඕනෑම දෙයක් පවතිනවා. පවතින්න ඉඩක් තියෙනවා.
ඒත් අපි සාමාන්‍යයෙන් ඒ විදිහට ලෝකය දකින්නේ නැහැ.
අපි මේ වගේ දේවල් වෙන් වෙන්ව දකිනවා. මම. ඔබ. අතන තියෙන ගස. ඈත පෙනෙන වෙල්යාය. වැව, වෑ කන්ද, සොරොව්ව, පාර්ලිමේන්තුව, බස් එක, දුම්, සොහොන, සොහොන් කොත. හැම දෙයක් ම අපට පරිබාහිරයි. එහෙම පේන හින්ද වෙන්න ඇති. සුවඳක් දැනුනත් ස්පර්ශයක් විතයි. අහරක් ගිල දැමුවත් එයත් පිටස්තරයි. මොහොතකින් එය අපේම කොටසක් වෙනවා කියල හිතන්නේ නැහැ. හිතෙන්නෙත් නැහැ.
දෙයක් ස්පර්ශ කෙරුවොත් උණුසුමක්, සිසිලසක් දැනෙනවා. මෘදුයි කියල නැත්තම් ගොරෝසුයි කියල දැනෙනවා. දැනුනේ කොහොමද, ස්පර්ශයෙන් ඉවත් වුනාට පස්සේ ස්පර්ශයට මොනවාද වුනේ කියල හිතන්නේ නැහැ. හිතෙන්නෙත් නැහැ.
මේවා නොවැදගත් කියල හිතමු.
මෙහෙම හිතමු. සිතුවිලි සිතුවිලු එක්ක පැටලෙනවා, එතෙනවා, ගෙතෙනවා. වචනයකට වචනයක් හමු වෙනවා. එතන සිදුවෙන ගනුදෙනුවක් තියෙනවා. ඉවර වුනාට පස්සේ ඉතිරි වෙන්නේ මොනවාද? ඒ ඒ වචන ආව තැන වලට ආපහු යනවද? පැටලුන, එතුනු, ගෙතුනු සිතුවිලි ඉබේටම වගේ ආයේ ලෙහිලා ඒ ඒ සිත් තුලට නිරවුල් ව, සුජාතාව ගමන් කරනවද?
මෙහෙමත් හිතමු. මිතුරෙක් ගැන. ආදරණීය වූ කෙනෙක් ගැන. එයා ඉන්නේ කොහෙද? තමන් තමන්ගේ පැලේ ඉන්නවා වගේ එයා ඉන්නේ එයාගේ පැලේ ද? අම්මා ඉන්නේ කොහෙද? දරුවෝ?
ඒ හිතවතුන්. එතකොට සතුරෝ? සතුරා නේවාසිකව ඉන්නේ කොතැනද? නිශ්චිත සීමා රේඛා වලින් වටකෙරුණු 'කඳවුරක' ද? එහෙමද හිතෙන්නේ? වැලි කැටයක විශ්වයක් තියෙනවා නම්. හිත්වල, හදවත් තුල මොනවාද තියෙන්න බැරි? ආදරවන්තයෝ, දෙමාපියන්, දරුවෝ, හිතවතුන්, හතුරන් වගේම දැකලම නැති, අහලවත් නැති අය අප තුල ඉන්න පුළුවන්. පුද්ගලයින් විතරක් නෙවෙයි, ජීවමාන අය විතරක් නෙවෙයි, නැසී ගිය අයත්, අප්‍රාණිකයි කියල හිතන දේවලුත් අප තුල වෙසෙනවා. අප ඇසුරු කරන අය වෙත ගමන් කරන්නේ ඒ සියලු ජනතාව, භෞතික වස්තූන්, මතකයන්, සිතුවිලි සමගයි. ආපසු පැමිණෙන්නේ ඒ සියලු දේ බෙදාගෙනයි, කොටසක් පරිත්‍යාග කරලයි, අප සතු නොවූ යමක් සමගයි.
ඊට පස්සේ 'මම කව්ද?' කියල ඇහුවොත්, 'මම මමමයි' කියල කියයි. 'මම මමමද?' කියල කල්පනා කරන එකකුත් නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එහෙම කල්පනා නෙකෙරුවා කියල අවුලකුත් නැහැ, ඇත්තටම.
නොබෙල් තාග්‍යය දිනාගත් ඔක්ටාවියෝ පාස් මෙහෙම ලියල තියෙනවා. 'මිනිසා දූවිල්ලෙන් සැදුනා නම් කතර හරහා හමා යන්නේ මිනිසුන් ද?' ගලියානෝ මෙහෙම කියනවා: 'මිදි හැදෙන්නේ මීවිතෙන්'. ඔක්ටාවියෝ කියන්නේ සමූහයක් ගැන. ගණන් කරන්න බැරි තරම් විශ්වයන් එක පොදියක පවනේ අභිමතයට ගමන් කිරීමක් ගැන. ගලියානෝ අහන්නේ මෙහෙම දෙයක්: 'මිදි හැදෙන්නේ මීවිතෙන් නම් මම හැදෙන්නේ ඔබෙනි, ඔබද මාගේ නිර්මාණයකි'.
පවුල. විශ්ව පවුල. විශ්ව ගම්මානය. මේවා සුලබව පාවිච්චි කරන වචන. ඒ නිසාම ඒවා නේවාසිකව සිටින සහ ඒවා තුල නේවාසික වන වැලි කැට ගැන කතාවක් නැහැ. කොහොමත් වැලිකැට, දූවිලු වගේ දේවල් තියෙන්නේ අතුගාල දාන්න මිස විමසන්න නෙවෙයි නේ.
ඒ කෙසේ වෙතත් අපි නිතර දකින එනමුත් පිළිනොගන්න නැත්තම් හඳුනන්නේ නැති පවුලක් තියෙනවා. මට එහෙම හිතෙනවා. අපි හැමෝම මොන තරම් දුප්පත් ද කියලත් හිතෙනවා.
1 comments:
" සිත්වල,හදවත් වල හදවත් වල මොනාද තියෙන්න බැරි" සිතේ තියන සියලු දේ බැහැර කලොත් මට ලැබුන නමත් බැහැර කළොත් මම කවුද? ලිපිය කියවල ඉවර වෙද්දි ඒ ප්‍රශ්නය ඉතුරු උනා.👌
Post a Comment