15 March 2018

පොඩි එකාගේ ඔළුවට ගැහුවම වීරයෙක් වෙන්නේ නැහැ මචෝ



ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සංචාරයක යෙදුන අවස්ථාවකදී සිද්ද වුන දෙයක් ගැනයි මේ ලියන්නේ. මතක හැටියට දකුණු අප්‍රිකාවේ සංචාරයක්.  සංචිතයේ ලාබාලම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් නොසන්ඩාල වැඩකට යොමු කරපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ, සියල්ල දැක බලාගන්න පුළුවන් විදිහටයි සැලසුම් කරලා තිබුනේ. වැඩේ අතර මග ජ්‍යෙෂ්ඨයෝ මැදට පැන්නේ අර ලාබාල ක්‍රීඩකයා ලැජ්ජාවට පත් කරන අදහසින්.

ලැජ්ජ වුනා හොඳටම. කේන්තිත් ගියා. ඒත් ටීම් එකේ ලොකු අයියලාට බනින්න තරම් පෞරුෂයක් එයාට තිබුනේ නැහැ. අන්ත අසරණ තත්ත්වයකට පත් වුනත් හිතට ආව කේන්තිය පාලනය කරන්න බැරි වුනා. තරහ පිටකරගන්නත් උවමනා වුනා. පිටකරගත්තේ මෙහෙමයි: තමන් තරම්ම කණිෂ්ට, ඒවගේම තමන් වගේම හීන්දෑරී වෙනත් ක්‍රීඩකයෙක්ට හොඳටම තඩිබාලා.  ඒ ක්‍රීඩකයා මේ විහිළුව සැලසුම් කරන්න සම්බන්ධ වුන කෙනෙක් නෙවෙයි.  ටීම් එකේ හැමදෙනාම වගේ බලාගෙන හිටපු එක විතරයි එයා කළ වැරැද්ද.

ඇත්තටම මෙහෙම වුනාද කියල කියන්න හරියටම බැහැ.  ඒත් මේක සුලබ කතාවක්. හැමතැනම, නිතර නිතර දකින්න පුළුවන දෙයක් තමයි වෙලා තියෙන්නේ.

කතාවට අදාලම පාර්ශවය හඳුනාගත්තත්, එයා නැත්තම් එයාල එක්ක හැප්පෙන්න බැරි නම්, මෘදු ඉලක්කයක් තෝරාගන්නවා. හොඳටම තඩිබානවා.  නිශ්ෂිතව වැරදිකරු මෙයයි කියල කියන්න බැරි නම්, හිත ඇතුලේ ඉන්න 'සතුරා' තෝරාගන්නවා තඩිබාන්න. ඒ සතුරා එක්ක හැප්පෙන්න බැරි නම් ආදේශකයක් නැත්තම් ආදේශකයෙක් තෝරාගන්නවා ගහන්න, පුච්චන්න, හිත හදා ගන්න, වෙච්ච 'අසාධාරණයට' හිලව් වශයෙන් නැත්තම් වෙච්ච ලැජ්ජාව සමනය කරගන්න.

මීට මාස කිහිපයකට කලින් ඉස්කෝලේ යාළුවෙක් ලජ්ජාවෙන් වගේ මෙහෙම දෙයක් කිව්වා: 'සියඹලා ගහ යට චැලෙන්ජ් කරලා හත් අට දෙනෙක් ට ගහල තියෙනවා ඉස්කෝලේ යන කාලේ.' එහෙම ගහගත්තේ ඇයි කියල අහනකොට අපූරු උත්තරයක් දුන්නා: 'චන්ඩි ලයිසන් එක තියාගන්න!'

 මගේ යාළුවා නම් ලයිසන් බේරගන්න චැලේන්ජ් කෙරුවේ එයාගේ ආධිපත්‍යයට අභයෝග කරන්න පුළුවන් කියල අනුමාන කරපු අයට. එහෙම අය ඉන්නවා. අලුත් පංතියකට ගිහාම චන්ඩි ලයිසන් එක ගන්න මුලින් ම කරන්නේ පන්තියේ ඉන්න උස මහතම ළමයට චැලේන්ජ් කරලා ගහගන්න එක.

ඒක වෙනස්. මේ වෙනස් ජාතියේ ලයිසන් එකක්. උදාහරණයකින් පැහැදිලි කරගනිමු. 

මාක්ස්වාදීන් නැත්තම් සමාජවාදීන් පැටලෙන්න ඕන ධනවාදය සමගයි, ධනේශ්වරය සමගයි. ඒත් අපේ රටේ මාක්ස්වාදීන් ගේ න්‍යායපත්‍රයේ ඕව නැහැ. ඒත් වාම ලයිසන් එක එයාලට තියාගන්න ඕන.  ඒ නිසා ජාතිය නැත්තම් ආගම, නැත්තම් මානව හිමිකම්, නැත්තම් සංහිඳියාව, නැත්තම් පරිසරය, නැත්තම් කාන්තා අයිතිය, නැත්තම් LGBT වගේ දේවල් අජෙන්ඩා එකට දාගන්නාව. පෙනෙන්නේ නම් එයාල තෝරාගෙන තියෙන මෘදු ඉලක්කය සිංහල ජාතිය සහ බෞද්ධ ප්‍රජාව. හරියට ධනවාදය පරාජය කිරීමේ සටනේ අනිවාර්ය කොන්දේසියක් වගේ සිංහල බෞද්ධයට ගහන එක. හරියට ධනවාදයේ ප්‍රධාන මිතුරා සිංහල බෞද්ධයා වගේ.  ඒවා එක්ක පැටලෙනකොට ඇතැම් විට ධනේශ්වරය එක්ක ඩීල් ගහගන්නවා. එහෙමත් නැත්තම් ධනේශ්වරයේ ඔඩොක්කුවට, සාක්කුවට කැමැත්තෙන්ම වැටෙනවා.

ජාතිය ගැන හිතන, ජාතිය ගැන කැක්කුමක් තියෙනවා කියන අය ජාතියේ අවුල් ලෙහාගන්න හදන්නේ නැහැ. ඒක ලොකු වැඩක්. ඒවගේ දෙයක් කරන්න මහන්සි වෙන්න ඕන. ඊට වඩා ලේසියි වෙනත් ජාතියකට ගහන එක.  ජාතියකට ම ගහන්න අවශ්‍ය නැහැ. ඒකත් ටිකක් බරපතලයි නේ. ඉලක්ක කරන ජාතියේ දුර්වලම කොටස් වලටයි ගහන්නේ.

ඒවගේ ම තමයි ආගමට උපාදාන ඇතිකරගෙන ඉන්න අය.  අදාළ දර්ශනයේ අන්තර්ගතය අධ්‍යනය කරලා නිර්දේශ භාවිතය වැළඳ ගන්න එක අමාරු වැඩක්. පහසු දේ තමයි වෙනත් ආගම් අතරින් 'සතුරෙක්' හදාගන්න එක.  ඒ සතුරාගේ දුර්වලම කොටස් වලට පහර දෙන එක. 

සැබෑ සතුරු නැහැයි කියනවා නෙවෙයි.  ඒත් ඒ ගනුදෙනුව බෙර ගන්න කලින් තම තමන්ගේ දේශපාලනික කුටුම්බයේ අවුල් බෙර ගන්න එක හොඳයි කියලයි හිතෙන්නේ.  කුටුම්බයේ අවුල විසඳගත්තට පස්සේ ඔය කියන විදිහේ සතුරෙක් ඉන්නවනම් සතුරාගේ නැට්ට එක්ක ගනුදෙනු කරන එක තරම් ආත්ම වංචාවක් නැහැයි කියලයි හිතෙන්නේ.

ගෙදර ඇතුලේ ගිනි නිවනවාට වඩා පහසුයි වටේම ගෙවල් වලට ගිනි තියන එක.  සාපේක්ෂ සීතලක් දැනෙනවා එතකොට. ඒත් අවසානයේ අවට ගෙවල් වගේම තමන්ගේ ගෙදරත් පිච්චෙනවා.

කවුරු හරි තමන්ගේ ගෙදරට ගිනි තිබ්බ කියන්නේ ආරක්ෂාව අඩපණ වෙලා කියන එක.  කරන්න ඕනේ මොකෙක්ටවත් ගිනි තියන්නබැරි විදිහට ආරක්ෂාව සලසගන්න එක. සමහර අවස්ථා වලදී ගිනි තියන්න එන එකා එක්ක ඔට්ටු වෙන්න සිද්ද වෙනව, ඇත්ත.  ඒ වෙනුවට එයාගේ පොඩි පුතාට තඩිබාන එක නම් මෝඩ වැඩක්.  අස්වැසිල්ලක්, මොහොතකට ලැජ්ජාව, තරහ වගේ දේවල් සමනය කර ගන්න. ඒත්අවසානයේ දී ඉතිරියක් නැති අර්ථයක් නැති වැඩක්.



Reactions:

0 comments: