24 March 2018

කඩුව පාවිච්චි කරමු


මීට අවුරුදු කිහිපයකට පෙර සිරස රූපවාහිනී නාලිකාව හරහා ප්‍රචාරණය වූ වැඩසටහන් ගැන ලොකු කතාබහක් ඇති වුනා.  මතක හැටියට 'සිරස සුපර් ස්ටාර්' වැඩසටහන පටන් ගත්ත කාලේ.   සිරස-විරෝධී ලිපි පළවුනා පත්තරවල. 

සිරස කියන්නේ ප්‍රබල සන්නාමයක්.  රූපවාහිනිය මෙන්ම රේඩියෝවද වෙනස් කරපු සන්නාමයක්. 'සිරසයි පාර කියන්නේ' කිව්වේ ලොකුකමටම නෙවෙයි. ඒකෙ ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තිත්තද නැද්ද කියන එක වෙනම කතාවක්.

කොහොම වුනත් සිරස පෝස්ටරයක් ගැහුවා රට වටේ: 'සිරස පාවිච්චි කරන්න'.  දෙපැත්තටම ගන්න පුළුවන් පාඨයක්.  අවුරුදු ගානක් දිවයින පත්තරේ ට 'කිං බානට්' කොලම ලියු හරිත් ගුණවර්ධන මේ ගැන සටහනක් කියල තිබුනා. මතක හැටියට 'ලංකා' පත්තරේ. හරිත් ගේ ලිපියේ හෙඩිම මෙයයි: 'සිරස වෙනුවට මොළේ පාවිච්චි කරන්න'. 

අපට මෙතන වැදගත් වෙන්නේ සිරසවත්, සිරස පිලිබඳ ඒ දවස් වල ඇතිවුන කතාබහවත් නෙවෙයි, 'පාවිච්චි කිරීම' කියන එකයි.  සිරස ගැන නෙවෙයි කඩුව ගැන.

මෑත කාලේ කඩු ගැන සෑහෙන්න කතා වුනා.  කඩුව අතට ගන්න කතා ඇහුන. ඒ ගැන කාටුන් පළවුනා, සමාජ මාධ්‍යයේ විහිළුවට ලක් වුනා.  ඒත් මෙතන කතාකරන්නේ 'ඉංග්‍රීසි' කියන කඩුව ගැන.

ඉංග්‍රීසි භාෂාවට 'කඩුව' කියල නමක් දැම්මේ කව්ද, කවදද, කොහෙදිද කියන එක හරියටම කියන්න බැහැ.  කොහොම වුනත් වචනේ හරි.  ඉංග්‍රීසි භාෂාව කියන්නේ ආයුධයක්. කපන්න, කොටන්න, තුවාල කරන්න වගේම මරන්නත් පුළුවන් ආයුධයක්.

ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ගොඩම තමයි.  එහෙම සමාජයකයි අපි ජීවත්වෙන්නේ.  ඒ වුනාට ඉංග්‍රීසි දැනගත්තට මදි. හරියට වචන උච්චාරණය කරන්නත් ඕන. නැත්තම් කැපෙනවා. එහෙම දේවල් අනන්ත වෙනවා. 

මට හිතෙන විදිහට කඩුව එක්ක මෙච්චර කල් කරපු ගනුදෙනුවේ අවුල් ගොඩක් තියෙනවා.  කඩුව අපේ නොවන නිසා කඩුවට බැන බැන ඉන්නවා. කඩුවට ගානක් නෑ. කඩුව සුපුරුදු විදිහට කපනවා, කොටනවා, තුවාල කරනවා, මරනවා.  එහෙම නැත්තම් කඩු සෙල්ලම කරන අය එක්ක එකතුවෙලා අතට අහුවෙන ආයුධ වලින් කඩ්ඩන්ගේ හතුරන්ට තලනවා. එතකොට හිතෙනවා ඇති මෙහෙම දෙයක්: 'දැන් හරි, කඩ්ඩා මාත් එක්ක සෙට් වෙයි. කඩ්ඩගේ යාලුවෙක් නිසා කඩ්ඩ බැරි වුනත් මටත් කඩු සමාජයේ සාමාජිකත්වය ලැබෙයි.'

කඩ්ඩට යටත් වෙන එක විතරයි වෙන්නේ. කඩු සමාජයේ සාමාජිකත්වය නෙවෙයි, කඩ්ඩන්ට කඩේ යෑමේ අයිතිය විතරයි ලැබෙන්නේ.  සමහර අයට ඒකත් ලොකු දෙයක්. හරියට හාමු ගේ ගෙදර අතුගාන්න ලැබෙන එකත් පිනක් වගේ.

මේ ගනුදෙනුව කරන්න වෙන විදිහක් තියෙන්න ඕන. හතුරට කඩුවක් තියෙනවා නම්, ඒ කඩුව විනාශ කරන්න බැරි නම්, අඩුම තරමින් අපිත් ඒ තරම්ම හයියක් තියෙන ඒ තරම්ම මුවහත් කඩුවක් හදා ගන්න ඕන.  ඒ කියන්නේ කඩුව අපේ කර ගන්න ඕන. 

එහෙම කරන අයත් ඉන්නවා. කඩ්ඩ ශාප් කරගන්නවා. හාමු එක්ක එකට වාඩි වෙලා කෝපි බොනවා. හාමුත් ඒ අයගේ ගෙවල් වලට ඇවිත් කෝපි බොනවා. ඒත් ඊට පස්සේ මොනවාද කරන්නේ? තමන් මහන්සියෙන් ලබාගත්ත, මුවහත් කරගත්ත කඩුවෙන් කඩු නැති අයට කොටනවා.  හාමුලා චියර්ස් කරලා 'වෙල් ඩන්' කියනවා.  ඒත් කඩුව වනද්දී කැපිල කෙටිල මැරිලා වැටිලා ඉන්න අය අතර තමන් ගේම අම්මත් තාත්තත් ඉන්නවා.  පෙනුනේ නැති වුනාට. 

වෙන විදිහක් තියෙන්න ඕන.  කඩුව පාවිච්චි කරන්න නම් මුලින්ම කඩුව අතට ගන්න ඕන. කඩුව වැනුවට කමක් නැහැ, මොලේ පාවිච්චි කරලා. ඉලක්කය ගැන අවබෝධයක් ඇතිවයි කඩුව වනන්න ඕන.  කඩුව වනන්නේ කඩුව නැති අය  ආරක්ෂා කරන්නද කඩ්ඩන්ට කඩේ යන්නද  කියලා හිතන්න ඕන.

කඩුව අතට ගමු. පාවිච්චි කරමු. ඒ එක්කම මොළෙත් පාවිච්චි කරමු!


0 comments: