08 March 2018

යසස් වෙනුවට යසස්ලා


මීට වසරකට නැත්තම් දෙකකට කලින් චින්තන ධර්මදාස මුහුණුපොතේ මෙහෙම සටහනක් ලියල තිබුනා: 'සමූහය කියන එකට පහර දීලා නැතිකරලා දාන්න ඕන.'  චින්තන ලියන කියන දේවල් වලින් වැඩිපුරම ගහන්නේ සිංහල බෞද්ධයා ට.  සිංහල බෞද්ධ සමූහයට. චින්තන විතරක් නෙවෙයි එහෙම කරන්නේ.  අනිත් පැත්තටත් වෙන ජාතික සහ ආගම් වලට අයත් අයව එක ගොඩකට දාලා සමූහයට ම ගහන බවත් පිළිගන්න ඕන.  චින්තනට කොහොමත් ඒ 'වෙනත්' සමූහ නැති කරන්න උවමනාවක් නැති බවයි මට තේරෙන්නේ. 

ඒ පොස්ටුව කියවද්දී මට උසස් පෙළ වානිජ විෂය උගන්නන උපකාරක  ගුරුවරයෙකුගේ පෝස්ටරයක් මතක් වුනා. ග්ලඩියේටර් චිත්‍රපටයේ එන වීරයෙක්. කඩුවයි පළිහයි.  ලොකුවට 'වරෙව්' කියල ලියල තිබුන. උඩින්, පොඩියට තිබ්බේ 'තනි තනිව බැරිනම් කණ්ඩායම් වශයෙන්' කියල.  ඉතින් මම කොමෙන්ටුවක් දැම්ම මේ විදිහට: 'තනි තනිව ද, සාමූහිකවද?' 

ඒවගේ කතා චින්තා වැඩිය ගණන් ගන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ.  මේ චින්තා ගැන කතාවක් නෙවෙයි. පුද්ගලයා සහ සමූහය ගැන සටහනක්.

මේ කතාවට අදාළ වෙන්නේ චින්තන නෙවෙයි. යසස් හේවගේ. 

යසස් මගේ පාසලේ ඉගෙනගත්ත ඒත් කවදාවත් මුණ ගැහිලා නැති, කතා කරලත් නැති ඒත් මූණුපොත තුල හිතවතෙක්.  ඔහුගේ නොයෙකුත් වික්‍රම ගැන මම ආසාවෙන් කියවනවා.  මට යසස් වීරයෙක්. යසස් වීරයෙක් වෙන්නේ එයා බයිසිකල් පැදීම විෂයේ දක්ෂයෙක් නිසා නෙවෙයි, යසස් කරන කියන හැම දෙයක් තුලම පරාර්ථකාමී, සුභවාදී, සෞම්‍ය, නිර්ව්‍යාජ සුන්දර මනුස්සයෙක් මට පෙනෙන නිසා.

මීට දවස් කිහිපයකට පෙර මට පළමු වතාවට යසස් ව මුණ ගැහුනේ අහම්බයෙන්.  යසස් බයිසිකලේ කොහේදෝ යනවා. 'යසස්' කියල කිව්වා ගමන් යසස් බයිසිකලේ නැවැත්තුව. 'මාලින්ද' කියල කිව්වේ ඉතාම ලෙන්ගතුව. 

ඉංග්‍රීසියෙන් වචන කිහිපයක් කතා කරලා අපි වෙන් වුනා. මෙච්චරයි කියවුනේ:

'මට ඔයා ගැන ලියන්න ඕන'

'ඇයි මං ගැන ලියන්නේ, අපි ගැන ලියමුකො!' යසස් හිනා වුනා. මමත් හිනාවුනා.  

 යසස් කියන්නේ බයිසිකල් පදින හිත හොඳ මිනිහෙක් ම නෙවෙයි.  යසස් කෙනෙක් ගැන කතා කරන්න බැරි යසස්ට යසස් යසස්ලා වන නිසා කියලයි මට හිතෙන්නේ.  

ඉතින් අපි කතාකරමු යසස්ලා ගැන.  යසස්ලා හතර වතාවක් ලංකාව වටේ බයිසිකල් වලින් ගිහින් තියෙනවා, මස්තිෂ්ක ආගාතයෙන් පෙළෙන දරුවන් ට රෝද පුටු ලබා දෙන අරමුදලක් තර කරන්න. යසසලා දෙවුන්දරතුඩුවේ ඉඳල පෙදුරුතුදඩුවටත්, පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුවටත් පයින් ගියේ තෙලිප්පලේ වගේම කරාපිටියෙත් පිළිකා රෝහලක් හදන්න සල්ලි එකතු කරන්න යි. 

යසසලා බොහෝ දේවල් කරන්නේ එවැනි අරමුණු සඳහා. එයාලගේ ශ්‍රමය, ශක්තිය, ඥානය වැය කරන්නේ ඒ වගේ අරමුණු සාක්ෂාත් කරගන්න. පොදු යහපත සඳහා. 

සුනාමිය ආව වෙලාවේ වගේ ම ගංවතුර, නියඟය වගේ ස්වභාවික විපත් සිදුවෙනකොට යසස්ලා ක්‍රියාත්මක වෙනවා.  සුළුතරයක් ආවේගකාරී වෙලා විනාශකාරී දේවල් කරද්දී යසස්ලා ඉදිරිපත් වෙනවා. හානිය අවම කරනවා. ජීවිත බේරාගන්නවා. විමුක්තිකාමී ඇඳුම් ගැලවිලා ත්‍රස්තවාදය නිරුවතින් ම එද්දී එය පරාජය කරන්නෙත් යසස්ලම තමයි.  ජනප්‍රිය ආණ්ඩු උද්දච්ච්කම්, මැරකම්, තක්කඩිකම් ප්‍රදර්ශණය කරනකොට එවැනි දේශපාලන බලවේග ගෙදර යවන්නෙත් යසස්ලා. එහෙම කරලා පත්කරගන්න ආණ්ඩු පිස්සු කෙලිනකොට 'දැන් ඇති' කියල කියන්නෙත්, එයාලව ගෙදර යවන්නෙත් යසස්ලා. මගුලටයි මරණයටයි එන්නේ, එකතුවෙන්නේ යසසලා. සතුට වැඩිකරන්නේ, දුක තුනී කරන්නේ යසස්ලමයි.  ලෝකය සුවඳවත් කරන්නේ යසස්ලා.    

යසස් කෙනෙක් හැම යසස් තුලම වෙසෙනවා, ඒ වුනාට බොහෝ අවස්ථාවලදී 'යසස්' හැසිරෙන්නේ 'යසස් වෙනුවෙන් යසස්' වගේ දෙයක් හිතේ තියාගෙන. යසස් හේවගේ වෙනස්. එයා නමට යසස් වුනාට තව දුරටත් යසස් කියල කියන්න බැහැ.  ඒ අපි හැමෝම තුල 'අනෙකෙක්' නැත්තම් 'අනෙකුන්' වෙසෙන නිසා නෙවෙයි; නිශ්චිත අවස්තාවක නැත්තම් නිරායාසයෙන්ම 'මම' සහ 'සමූහය' කියන්නේ ව්‍යාජ බෙදීමක් කියන එක තේරුම් ගන්න නිසා.   

'සමූහය' ට ගහනවා කියන්නේ යසස්ලට ගහනවා කියන එක.  ඒ වුනාට යසස්ලට ගහන්න බැහැ, වදින්නේත් නැහැ. යසස්ල ඉන්න තැන් හොයන්න බැහැ. ඇඩ්‍රස් නැතිවුනාට ඇඩ්‍රස් නැත්තෙත් නෑ. සංවිධාන අටවගන්නේ නෑ, පක්ෂ හදන්නේ නෑ, බලය ලබාගන්නා ප්‍රොජෙක්ට් වල නෑ, පොර ටෝක් ඉශු කරන්නේ නෑ, තෝරන්න බෑ, හොයන්න බෑ. ඒත් ඉන්නවා. ක්‍රියාත්මක වෙනවා.        

අන්න ඒකයි මේ රට වැටෙන්නේ නැත්තේ. යසස්ලා ඉන්නවා. යක්කු වගේ. සියලු දෙවි දේවතාගොල්ලෝ යසස්ලා ව ආරක්ෂා කරනවා, ආරක්ෂා කරත්වා!   

Reactions:

0 comments: