05 April 2018

අද ගුරුවරුන්ගේ දිනයයි. හෙටත් එහෙමමයි.


යුනෙස්කෝ ආයතනය ඔක්තෝබර් මස 4 වෙනිදා නම් කරලා තියෙන්නේ 'ජාත්‍යන්තර ගුරුවරුන්ගේ දිනය' කියලයි.  ඒ 1994 සිට. ඉස්කෝලේ යන කාලේ නම් හැමදාම ගුරුවරුන් ගේ දිනයක් හැටියටයි මට නම් මතක. ගුරුවරුන් රජකරන ලෝකයක්. ගුරුවරු නැති දවස්වල රජකෙරුවේ ළමයි, ඒත් එහෙම දවස් ආවේ කලාතුරකින්. ගුරුතුමා නිවාඩු දැම්මත් ඒ වෙනුවට වෙන ගුරුවරයෙක් පන්තියට ආවා. හැමදාම ගුරුවරුන්ගේ දවසක්. ගුරුවරුගේ දවස් අපේ දවස් නෙවෙයි. සතුටු වෙන්න පුළුවන් දවස් නෙවෙයි.  දුක් වුනා කියන්න බැරි වුනාට ඒ හැම දවසකම සතුටු වුනා කියන්නත් බැහැ. එහෙමයි මතක.  

ගුරුවරුන්ගේ දවස් වලින් නිදහස් වුන දවසකුත් ආවා.  ආපසු හැරිලා බලද්දී ඇත්තටම ගුරුවරුන්ගෙන් නිදහස් වුනාද කියල අපෙන්ම අහන්න වෙනවා. ඒ එක්කම ගුරුවරු අපෙන් නිදහස් වුනාද කියල අහන්නත් වෙනවා. 

දවසක් මළගෙදරකදී තුනේ පන්තියේ ගුරුවරියක් හමුවුනා. ඒ මිස් ගැන වැඩියෙන්ම මතක කළු ලෑල්ලේ ලස්සනට සිංහල අකුරු ලිව්ව කියලයි. 'සිංහල' භාෂාවට ආදරේ කරන්න පටන්ගත්තේ තුනේ පන්තියේ දී කියල පසුව තීරණය කළා.  ඉතින් මම මිස් එක්ක කතා කෙරුව. පුදුම හිතෙන ඒ වගේම දුක හිතෙන කතාවක් මිස් කිව්වා.

"අනේ පුතේ කතා කරපු එක ට බොහොම පින්.  සමහර ළමයි අපිව දැකල දැක්කේ නැ වගේ යනවා. එයාල හිතනවා ඇති අපට මතක නෑ කියල. ඒත් පුතේ අපි උගන්නපු ළමයි කොච්චර ලොකු වුනත් අපට අමතක වෙන්නේ නෑ."

ළමයි අමතක වුනත් සමහර ගුරුවරුන්ට ගුරු-ශිෂ්‍ය සම්බන්ධය අමතක වෙනවා. එහෙමත් නැත්තම් පන්ති කාමරයෙන් නිදහස් වුනාට පස්සේ, ගුරුවරුන්ගේ දින වලින් නිදහස් වුනාට පස්සේ තව දුරටත් 'ශිෂ්‍යයෙක්' ඉතුරු වෙන්නේ නැහැ කියල තේරුම් ගන්නවා වෙන්නත් පුළුවන්. 

තවත් මළගෙයක්. ගුරුවරයෙකුගේ. සහෝදර ගුරුවරුන් වගේම පරණ ශිෂ්‍යයොත් බොරැල්ල කනත්තට ආව. පුරුද්දට ගුරුවරුන්ට 'සර්' කියලයි කතා කෙරුවේ. පරණ කතා අලුත් වුනා. ගුරුවරුන්ගේ දිනයක් නොවුන නිසා වෙන්න ඇති, නැතිවුන සර් ගැන ඇතිවුන දුක මොහොතකට අමතක කරලා සතුටු වෙන්න පුළුවන් වුනා.  අවසන් කටයුතුත් අවසන් වුනා. කට්ටිය හෙමීට යන්න ගියා. අන්තිමට ඉතුරු වුනේ ගුරුවරු දෙතුන් දෙනෙක්.  

පරණ ගෝලයෙක් කනත්තේ ගේට්ටුව පැත්තට යනවා දැකල ගණන් උගන්නපු සර් දෙයක් කිව්වා. දුකෙන් කිව්වේ. සර් ට දුක හිතුන එක ගැන මට දුක හිතුන.  

'අනේ බලන්න, ඩොක්ටර් පයින්ම යනවා.'   

'ඩොක්ටර්?' මට පුදුම හිතුන. ඒ ඩොක්ටර්ට වගේම මටත් ඒ ගුරුවරයා ඉස්කෝලේ හිටපු කාලේ වගේම එදත් 'සර්'. ගණන් සර්.   

සර්ලා ළමයින්ව අතහරිනවා, ඒත් හැමෝම සර්ලව මිස්ලව අතහරින්නේ නෑ. අතහැරිය කියල හිතුනත් හිතාගත්තත් අතහැරෙන්නේ නෑ.

මීට වසර 31කට පෙර පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් හිටපු අර්ජුන පරාක්‍රම ගුරුවරු ගැන වැදගත් දෙයක් කිව්වා තාම මතකයි.  ශාස්ත්‍රවේදී උපාධිය ට ලියු නිබන්ධනය අර්ජුන මට පෙන්නුවා. පිදුම මෙයයි: 'ෆෝ මයි ටීචර්ස් ('මාගේ ගුරුවරුන්ට').  ඒ ගැන මම ඇහුව.

'අපි හිතාගෙන ඉන්නේ අපේ තනි මහන්සියෙන් දේවල් ඉගෙන ගන්නවා කියල. තනි මහන්සියෙන් දේවල් ජයග්‍රහණය කරනවා කියල. ඒත් ඇත්ත ඒක නෙවෙයි.  ගුරුවරුන් අපිට කියල දුන්න දේවල් අපි තුල ඉතුරු වෙනවා.  එයාල අපේ කොටසක්.'

ගුරුවරුගේ දින පහු වෙන්නේ නෑ. හැම දිනයම අපට 'අපේ' දිනයක් නම්, හැම දිනයම අපට ගුරුවරුන්ගේ දිනයක්.  එයාලා අපට ජීවිතිය දුන්නට, අපව ජීවත් කෙරෙව්වට, අප තුලම ජීවත් වුනාට, අපට ගුරුවරු නිතර මතක් වෙන්නේ නෑ. ඒ ගැනත් ටිකක් හිතන්න ඕන. 


"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'

   
Reactions:

0 comments: