19 April 2018

සිංහල අවුරුද්ද කියන 'මළඉලව්ව' ගැන කෙටි සටහනක්


සිංහල අලුත් අවුරුද්ද ගැන සාමාන්‍යයෙන් ඇහෙන කෝචොක් වලට අජිනමොටෝ ටිකක් එකතු කරන්න මේ පාර පුළුවන් වුනේ අර මුස්ලිම් කොල්ලෙක් අවුරුදු කුමාරයා වුන සිද්ධිය නිසයි. 

මුස්ලිම් කොල්ලෙක් ඒ වගේ තරඟයකට ඉදිරිපත් වෙන එක සදාචාර විරෝධීයි කියල සමහරු කියනවා.  මේ අලුත් අවුරුද්ද මුස්ලිම් අයට අදාලම නැතිලු.  ඔය වගේ කතා ගොඩාක් තිබුනා මුහුණුපොතේ.

මුලින්ම කිවයුතු දෙයක් තියෙනවා:

අවුරුදු කුමාරයා තේරුවේ කව්ද, කොහොමද කියල මම දන්නේ නෑ. අදාලත් නෑ. සිංහල කියන දේ සහ අවුරුද්ද කියන දේ මම තේරුම් ගන්න විදිහක් තියෙනවා. ඒ අනුව, සිංහලකම කියන්නේ වෙන්වීම හුදෙකලා වීම හරහා අනන්‍යතාවය තහවුරු කරගන්න දෙයක් නෙවෙයි. හරයක් තියාගෙන වැළඳගන්න අවශෝෂණය කරගන්න සූදානමක් තියෙන දෙයක්. අවුරුද්ද කියන්නේ එකතු වෙන තැනක්, පරණ කෝන්තර අමතක කරන මොහොතක්. ඒ අනුව අවුරුදු කුමාරයාගේ ජාතිය ආගම අදාලම නෑ.

දැන් අජිනමොටෝ කතාවට යමු. මුහුණුපොතේ මේ කාරණය ගැන දිග සටහනකින් අවසන් කොටස මෙයයි:

"උන්ට මතක නෑ බෙග් මසේටර්, එම්.ජේ කරීම් වගේ මිනිස්සු තමා වෙසක් එකට සින්දු කියන්නෙ කියල..! එකෙක්ට වත් මතක නෑ මේ තියෙන ලපයිසිපයි බුද්ධාගම මේ රටේ මෙහෙම හරි තහවුරු කළේ හෙන්රි ඕල්කොට් කියලත්.. වෙසක් දින නිවාඩුවක් දෙන්න කියල ඉල්ලීම ජාත්‍යන්තරයට මුලින්ම කළේ කදිරගාමර්ය කියලත්.. එක සිංහල බෞද්ධ කියන මොනම **යෙක්වත් කිසිම දෙයක් කරල නෑ කියල දන්නෑ..අර ධර්මපාල කියල මනුස්සයෙක් හිටියා මිනිහ මලෙත් මම දඹදිවම උපදිනව කියල.. ආයේ ලංකාවට කරපු දෙයක්නෑ..!"

මෙතන ඇත්තක් තියෙනවා මුල් කොටසේ.  මුස්ලිම් කොල්ලා අවුරුදු කුමාරයා වුන එක ගැන උරණ වෙලා ඉන්න 'සිංහල බෞද්ධයින්' මේවා දන්නේ නෑ. නැත්තම් නොදන්නවා වගේ නැත්තම් අදාළ නෑ වගේ තමයි කරුණු කාරණා කියන්නේ. එහෙම නොවන සිංහල බෞද්ධයින් ඉන්න බවත් කියන්න ඕන. අනික 'සිංහල බෞද්ධ' කියන 'මොනම මොකෙක්වත්' කිසිම දෙයක් කොරල නෑ කියන එක වැරදියි.  බුද්ධාගම ගැනත්, බෞද්ධ සංකෘතිය ගැනත්, රට ගැනත්, ඉතිහාසය ගැනත් එහෙන් මෙහෙන් අහුලගත්ත දේවල් කලවම් කරලා මොනවාද කියන්න බැරි? මට එහෙමයි හිතුනේ.

අර මුස්ලිම් කොල්ලා අවුරුදු කුමාරයා වුන එක ගැන තරහ ගිය සිංහල බෞද්ධයින් සහ මේ සටහන ලියපු කෙනා අතර මට නම් ලොකු වෙනසක් පෙනෙන්නේ නෑ. දෙගොල්ලන්වම මෙහෙයවන පොදු සාධකය වෛරය. දෙගොල්ලම පාවිච්චි කරන්නේ එකම ක්‍රමවේදය. ඒ කියන්නේ තමන්ගේ තර්කයට වාසි දේවල් තියාගෙන අවාසි දේවල් බැහැර කරලා අඩි හප්පමින් හූ තියන එක. 

මුහුනුපොතේ සටහනේ අපට අදාළ වෙන්නේ මේවා නෙවෙයි.  මෙහෙම දෙයක් ලියල තියෙනවා පොඩි 'පෙරවදනක්' හැටියට:

"අර මුස්ලිම් කොලුවෙක් අවුරුදු කුමාරයා වෙලා. ඉතිං ඒක කොච්චර හොඳද? ඌ චීනෙක් හරි ඉන්දියන් කාරායක් හරි නං තමා අවුල. ඌ නියම ලාංකිකයෙක්. මේ බොරුවට අටෝගත්තු 'සිංහල අවුරුද්ද' කියන මළඉලව්වෙ තියෙන උතුම් දෙයක්ද අවුරුදු කුමාරයා තේරීම..?"

මුල් කොටසට එකඟයි. අවසන් කොටස අවුල්.  අවුල් වෙන්නේ 'සිංහල අවුරුද්ද උතුම් නෑ' කියපු නිසා නෙවෙයි.  එක් කෙනෙකුට උතුම් දේ තව කෙනෙක් ට පහත් නැත්තම් නොවැදගත් වෙන්න පුළුවන්. කව්රු හරි උතුම් කියල හිතාගෙන ඉන්නවනම් හිතපුවාවේ. ඒකට ගරහන එක අශිෂ්ටයි.

ප්‍රශ්නේ මේකයි: 'සිංහල අවුරුද්ද' කියන්නේ 'අටවගත්ත මළ ඉලව්වක්' කියන අයට වෙන ජාතීන් සහ ආගමිකයින් (සිංහල නොවන සහ බෞද්ධ නොවන) අටවගන්න දේවල් ගැන මීක් නෑ. ඒවාට 'මළ ඉලව්' කියල කියන්නෙත් නෑ.  ඒ ඇයි? නොකියන එක තුල ඇති සංස්කෘතික දේශපාලනය මොකද්ද? සිංහල බෞද්ධයින්ගේ 'අටවගත්ත මළඉලව්' ගැන විතරක් දොඩන එක හරහා දිනාගන්නේ මොකද්ද? 

මේ තත්ත්වය සිංහල අවුරුද්ද ට සීමා වුන දෙයක් නෙවෙයි. වෙසක් පොසොන් කාලෙත් සමහර අයට මේ 'මළ ඉලව්' ලෙඩේ හැදෙනවා.  වෙන ආගම් වලට සුවිශේෂ දින වල ඒ ලෙඩේ ඉබේටම වගේ සුව වෙනවා. 

කතාවේ අනිත් පැත්තත් සිද්ද වෙනවා.  අන්‍යාගම් වල වෙනත් ජාති වල අය කරන කියන දේවල් වල 'අතාර්තිකකම්' සහ 'අවිද්‍යාව' ගැන දොඩවන සිංහල බෞද්ධයින් 'සිංහල බෞද්ධ' ලේබලය යටතේ කරන කියන අතාර්කික දේවල් ගැන නිහඬයි. 

මේවා ගැන හිතනවා මදි කියලමයි හිතෙන්නේ.  කොහොම වුනත් අර මුස්ලිම් කුමාරයාටත්, එයාව කුමාරයා කරපු අයටත්, එයාට ගරහන අයටත් ගරහන අයට ගරහන අයටත් සුභම සුභ අලුත් අවුරුද්දක් පතමු. හද පතුලෙන්ම.     

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'     

3 comments:

සෙන්නා said...

සිංහල අවුරුදු, දෙමළ අවුරුදු, වෙසක්, පොසොන්, ඇසල, නත්තල්, පාස්කු, රාමසන් ඔය ඔක්කොම දියවෙලා යන දවස්ක එනවා.. ඉනිස්සු දැන් දැන් මේවා දිහා ඇස් ඇරලා බලන්න ටිකටික පුරුදු වෙනවා කියලයි මට හිතෙන්නේ. අන්ධානුකරණයෙන් අපේ වැඩිහිටියෝ කරපු නිසා අපිත් කරණවා කියලා හිතන අය අඩු වේගන යන බවක් පේනවා..

මැද පෙරදිග හිතපු නැති වෙනස් වීම් වේගන යනවා.. සවුදියෙ අය ඊශ්‍රායලය එක්ක අවුරුද්දට කිරිබත් කන්න ඉඩ තියනවා ලබන අවුරුද්දෙදි. කටාර් කුමාරයෙක් ක්‍රිස්තියානි වෙලාලු...

ජාති ආගම් කුල මල ඔක්කොම අත ඇරලා අපි ඔක්කොම හෝමෝ සා‍ෆියන්ලා කියලා හිතෙන දවසක් එනකම් මිනිස්සු පට්ට විදිහට විඳවයි.. එච්චරයි...

Jetuwa said...

ඔව්.. ඔය ඔක්කෝම දිය වෙලා බොඳ වෙලා යන කාලයක් එනවා. එදාට අපි නෑ. බොලත් නැ.අ.. බොලාගේ දරුවොත් නෑ... ඔහොම ගියොත්
.. ����

Unknown said...

Great piece bro . As always