22 August 2019

තාජුදීන් එන්න, මල් පිපී දැයි බලන්න



ඉංග්‍රීසි භාෂාවෙන් ලියවිලා තියෙන යුධ විරෝධී සින්දු අතරින් මම ආසම එකක් තමයි 'වෙයා හැව් ඕල් ද ෆ්ලවර්ස් ගෝන්' (මල් වලට මොකද වුනේ?). කෙටියෙන් මේකයි කතාව: ගෑණු ළමයින් මල් නෙලුවා එකක් නෑර, තරුණයෝ ගෑණු ළමයින් සියල්ල රැගෙන ගියා, තරුණයෝ යුද්දෙට ගියා, සොල්දාදුවෝ සොහොන් වල වැලලුනා ....සොහොන්...? සොහොන් මත මල් පිපුනා.  

තාජුදීන් ගැනත් ඔහොමම කියන්න පුළුවන්. වළලනවා ගොඩගන්නවා නැවත වළලනවා නැවතත් ගොඩගන්නවා.  සමන්ත හේරත් රචනා කල සුනිල් එදිරිසිංහ ගායනා කරන 'නාලිනී එන්න' ඒ වගේ සින්දුවක් නෙවෙයි. ඒත් මෙතරම් වාරයක් වළලලා ගොඩ අරගෙන තියෙන තාජුදීන්ට මල් සුවඳක් විඳින්න බැරිවුනත් ඇරයුම් කරන්න හිතෙන්නේ මුලින් සඳහන් කරපු සින්දුවේ චක්‍රීය ස්වභාවය නිසයි.  

තාජුදීන්ට වගේම එක්නැළිගොඩටත්,  ලසන්තටත් මේ යහපාලන ආණ්ඩුව කරලා තියෙන ලොකුම අසාධාරණය තමයි එයාල ගැන කතාකරන එක විහිළුවක් වෙන තැනට කටයුතු කිරීම. ඒත් තාජුදීන් ගේ ඝාතකයා නැත්තම් ඝාතකයින් තීන්දු කරන දවසක තාජුදීන්ට යුක්තිය ඉටුවෙයි කියල හිතන්න මම කැමතියි, තාජුදීන්ටවත් තාජුදීන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට අස්වැසිල්ලක් නොවුනත්. එහෙම වෙයි කියල සැකයක් නැත්තේ නෑ. හේතුව 88-89 කාලේ මරපු තාජුදීන්ලා දස දහස් ගණනකට යුක්තිය ඉෂ්ට වුනේ නැති නිසා. අතුරුදහන් කරපු එක්නැළිගොඩලා දස දහස් ගණනකට යුක්තිය ඉෂ්ට වුනේ නැති නිසා. ඒ කාලේ ඝාතනය කළ ලසන්තලාට යුක්තිය ඉෂ්ට වුනේ නැති නිසා. 

'ඒවා පරණ කතානෙ බ්‍රෝ!' 

ඔව් බ්‍රෝ, පරණයි. ඒත් මළකුණු දිරන වේගයට මිනීමැරුම් දිරන්නේ නෑ. කොහොම වුනත් ඒ පරණ අපරාධ අලුත් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස. තාත්තගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නලු යන්නේ එයා. ප්‍රේමදාස ප්‍රතිපත්ති වල කොටසක් තමයි භීෂණය කියන්නේ. ඔව් ඔව් ජවිපෙත් ඒකට සම්මාදම් වුනා තමයි, ඒත් ඉතින් ඔය තාජුදීන් සැණකෙළියටත් එයාල සම්මාදම් වුනා නේ. කොහොම නමුත් අපි ඒවා ගැන කතා කළ යුතුයි. 

පණපිටින් කනත්තේ ආදාහනාගාරයට ඇදල දාල පුළුස්සපු ජවිපෙ නායක රෝහණ විජේවීරට ඇවිත් මල් පිපිලද කියල බලන්න කියන්න කෙනෙක් නෑ. ලසන්නතලා ගැන දුක් වෙන අය කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකවත් කියන්නේ නෑ. ලසන්ත ගැන කතා කරන අය විමල් සුරේන්ද්‍ර කියන ඡායාරූපශිල්පයා ගැන කතා කරන්නේ නෑ. අඩුම තරමින් රිචර්ඩ් ද සොයිසා ගැනවත් කතා කරන්නේ නෑ. 'අඩුම තරමින්' කිව්වේ ඒ කාලේ ලොකුවට කතා කෙරුවේ රිචර්ඩ් ගැන මිස අතුරුදහන් කරපු නැත්තම් මරා දාපු වෙනත් මාධ්‍යවේදීන් ගැන නොවන නිසා.  එක්නැළිගොඩ පෙන්න පෙන්න අතුරුදහන් කර කර නැවත පෙන්න පෙන්න ඡන්දේ හිඟාකන අය දිවයින පත්තරේට 'වමේ කතාව' ලිව්ව බී.ඊ. දයානන්ද යුනියන් පෙදෙස පෙට්‍රල් ෂෙඩ් එක ඉදිරියේ ඝාතනය කරපු එක ගැන පිටුගණන් ලියන්නේ නෑ. සුදු වෑන් කතා රස කර කර කියන කට්ටියට ටයර් සෑයවල රස්නේ දැනෙන්නේ නෑ. මේ දෙගොල්ලන් ගැන කතා කරන අය තිස් වසරක් තුළ මරා දමපු, අතුරුදහන් කරපු නිරායුධ පිරිස් ගැන කතා කරන්නේ නෑ. තෝරලා බේරලා දේශපාලනය කරනකොට එහෙම තමයි. 
    
මේවා පරණ කතා නෙවෙයි. අලුත්. අලුත් කෙරුවේ සජිත්ම නෙවෙයි. ඒවා අලුත් වෙන්නේ ඒවාට ඍජුව නැත්තම් වක්‍රව සම්බන්ධ අය තවමත් ඉන්න නිසා. අද එයාලට කියන්නේ යහපාලකයෝ කියලා. 

'එතකොට ජවිපෙ ඕකට ගෑවෙන්නේ නැහැ නේද බ්‍රෝ?'

ඇයි නැත්තේ? ඒ කාලේ රට පාලනය කරපු මර්ධනකාරී ආණ්ඩුවට පූර්වාදර්ශ සැපයුවේ ජවිපෙ. එයාලත් ඒ වගේම ඝාතන සිදු කෙරුවා. දයා පතිරණ, චන්ද්‍රවිමල, ඒ. ජයන්ත, දේවබණ්ඩාර සේනානායක, සාගරිකා ගෝමස්, ප්‍රේමකීර්ති ද අල්විස්, නන්දන මාරසිංහ, නන්දලාල් ප්‍රනාන්දු, ස්ටැන්ලි විජේසුන්දර සහ තවත් 6,000ක් විතර. පළාත් සභා මැතිවරණ වල හැම ඡන්ද පොළකම මුලින්ම ඡන්දය දාපු කෙනා ඝාතනය කරන්න ජවිපෙ සැලසුම් කෙරුවා. මැරුවා. ඒ කාලේ ජවිපෙට සම්බන්ධ අය අදත් ජවිපෙ ඉන්නවා.   

කොහොම වුනත් සුරේන්ද්‍රලා රිචර්ඩ්ලා අබේසිංහලා ඇතුළු (ඔව් ඔව් විජේවීරත් ඇතුළුව) දසදහස්ගණන් අවාසනාවන්තයින් පින් කරලා තියෙනවා කියල පින් පව් විශ්වාස කරන අය හිතන්න පුළුවන්. මැරුණට පස්සේ තාජුදීන්ලා වගේ ගසා කාලා නෑ එයාලව. 

නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ සිත් සේ විඳින්න තාජුදීන් එන්නේ නැහැ. තාජුදීන් එන්නේ නැහැ මල් පිපිලද නැද්ද කියලා බලන්න. එන්න කිව්වට එන්න බැරිවුනත්, එයාව මළවුන්ගෙන් නැගිටවන අය ඇති තරම් ඉන්නවා. මල් පිපිලද නැද්ද කියන එක අදාළ නැතිවුනත් දේශපාලනයේ සරු ඵල නෙලාගන්නවා. රිචර්ඩ් ගැනත්, සුරේන්ද්‍ර ගැනත්, ව්ජේවීර ගැනත් ඔය ටික කියන්න පුළුවන්. එයාල කව්රුත් මල් නෙලුවෙත් නැහැ බැලුවෙත් නැහැ. ගොඩ ගියේ, ගොඩ යන්නේ වෙන අය.

'අරුණ' පුවත්පතට ලියූ වෙනත් ලිපි 

ජනපති සිහින: විහිළුසහගත සහ සීරියස්

ගෝටට හනිකට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය


1 comments:

Anonymous said...

තාජුදීන්ලව කවුරු මැරුවත්, අතුරුදහන් කළත් ඒකට UNP එක තමා වග කියන්න ඕනා. ඔය ප්‍රතිවාදීන්, විරුද්ධමතධාරීන් මරණ එක, හංගන එක, උස්සන එක ලංකාවට පුරුදු කළෙ උන් තමා..