24 July 2015

ඉර පායා ඉර අවරට ගියාදෝ....විප්ලව ගුණය කොහේ සැඟවී ගියාදෝ

ඉර පායා ඉර අවරට ගියාදෝ....විප්ලව ගුණය කොහේ සැඟවී ගියාදෝ 
2015.07.24 දින දේශපාලන කරලියේ විවිධ කරුණු කාරණා පිලිබඳ කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට නියමිත සීමාරහිත උම්මත්තකයින්ගේ පක්ෂයේ අදහස් පහත දැක්වේ.   

සීමාරහිත උම්මත්තකයින් ජවිපෙ විග්‍රහ කරමින් එම පක්ෂයේ පිරිහීම පිලිබඳ ශෝකප්‍රකාශයක් නිකුත් කර ඇත. කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන එම පක්ෂයේ අද නායක මාතොට දේවසිරි තුමා කැකිරි එෆ් එම් වෙත පහත නිවේදනය ඒවා ඇත:
"සියලු සංස්කාර ධර්මයන් නැසෙනසුලුය. අලුත් සියල්ල කෙමෙන් කෙමෙන් පරණ වේ. තද වර්ණ ලා වේ. රතු පාට රෝස පාට වේ, රෝස පාට සුදු පාට වේ. සුදු වූ විට නිල කරගන්නත් කොළ කරගන්නත් පහසු වේ. ජවිපෙ දැන් 'පරණ වම' ලෙස හැඳින් විය යුත්තේ වාමාංශික සායම් සේදී ගොස් නැති නිසා නොවේ. එහෙම කියන එක අකාරුණික නිසා. ඇන්. ඇම්., කොල්වින් සභාග ආණ්ඩු වලට දිය වූ කාලේ තරම් වත් ජවිපෙ ප්‍රගතිශීලී නැත."

ජවිපෙ දේශපාලනය ගැන කුතුහලයක් ඇති වූ බැවින් සීමාරහිත උම්මත්තකයින් ගේ පක්ෂයේ පරිධියේ කාරක සභාව පහත කරුණු කාරණා වෙත සිය අවධානය යොමු කල බව මාතොට දේවසිරි පවසයි.
"සැබෑ මිනිසා වාසිය රැඳී ඇති මාවත නොසොයයි, යුක්තිය රැඳී ඇති. සැබෑ ප්‍රායෝගික මිනිසා ඔහු ය. අද ඔහුගේ සිහිනය හෙට ලොව නීතිය වනු ඇත." කියුබානු විප්ලවවාදී හෝසෙ මා(ර්)ටි ගේ වචන සෙට් එක 87-89 කාලයේ ජවිපෙ ක්‍රියාකාරිකයින් විශ්වවිද්‍යාල වල තාප්ප වල තැන තැන කුරුටු ගා තිබුණි. 'යුතිය රැඳී ඇති මාවත' ඩාලි පාරේ ශ්‍රීලංනිප කාර්යාලය ද සිරිකොත ද හරහා වැටී තිබුන බවක් ඒ කාලේ බෙදා හරින ලද දේශපාලන සිතියමේ සටහන් නොවින. ජවිපෙ ඉන්නේ එතකොට සැබෑ නොවන මිනිසුන් ද? ජවිපෙ කියන්නේ විප්ලවවාදී 'ෆේක්' එකක් ද? 
අවසානයේ ජවිපෙ පිලිබඳ අනුකම්පාවක් ඇති වූයෙන් 'ජවිපෙ පව්' ලෙස ඒකමතිකව තීන්දු කල බව දේවසිරි තුමා පැවසුවේය.



"ඇයි කැකිරිලන්තයේ ආණ්ඩු හදන්න යන්නේ...ලංකාවේ ඉන්න උඹලට ලංකාවේ ආණ්ඩුවක්
හදන්න අවශ්‍ය නැද්ද?"
බොහෝ දෙනෙක් ට සීමාරහිත උම්මත්තකයින් දේශපාලන පිටිය මෙසේ තෝරාගැනීම ප්‍රශ්නයක් වී ඇති බැවින් මාතොට දේවසිරි තුමා මේ පිලිබඳ ප්‍රකාශයක් කැකිරි එෆ් එම් වෙත එවා ඇත.
"මහින්ද ට හම්බන්තොටින් ඉල්ලන්නේ නැතුව කුරුණෑගලින් ඉල්ලන්න පුළුවන් නම්, අනුර කුමාරට කුරුණෑගලින් ඉල්ලන්නේ නැතුව කොළඹින් ඉල්ලන්න පුළුවන් නම්, ලාල්කාන්තට අනුරාධපුරෙන් ඉල්ලන්නේ නැතුව කොළඹින් ඉල්ලන්න පුළුවන් නම්, රනිල් ට බියගම අතහැර කොළඹින් ඉල්ලන්න පුලුවන්නම්, කරු ට කොලඹ අමතක කර ගම්පහින් ඉල්ලන්න පුළුවන් නම්, ඔබාමා ට වොෂින්ටන් සිට ශ්‍රී ලංකාව පාලනය කරන්න පුළුවන් නම්, උම්මත්තක අපි ශ්‍රී ලංකාවේ ඉන්න අතරේ කැකිරිලන්තයේ දේශපාලනය කරන එක අවුල් වෙන්නේ කොහොමද?


'ආණ්ඩුව කරවන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි!' කියන අනුර කුමාර දිසානායක ගෙන් මාතොට දේවසිරි තුමා මෙසේ විමසා ඇති බව වාර්තා වේ: 'විමල් ගේ පරණ රිමෝට් එක ඔබ තුමාට දුන්නද නැත්තම් එජාපෙන් ඊට වඩා සුපිරි තත්ත්වයේ රිමෝට් එකක් ලැබුනද?' 


විමල් වීරවංශ ප්‍රශ්නයක් යොමු කර ඇත. අනුර කුමාර වෙත: 'ජවිපෙ එජාපයට වික්කද?' මාතොට දේවසිරි තුමා විමල් ගෙන් සහ අනුරගෙන් මෙසේ විමස යි: "ජානිපෙ මහින්ද ට වික්කද? ජවිපෙ සන්දානයට වික්කේ කවුද, කවදද? විකුණා නැවත නොමිලේ ලබාගන්න පුළුවන් අපූරු භාණ්ඩයක් හෝ සේවාවක් ද ජවිපෙ කියන්නේ? එසේ නැතිනම් නැවත නැවත විකිණිය හැකි දෙයක් ද?"



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අනවශ්‍ය අසීමිත ප්‍රචාරණයක් රාජ්‍ය මාද්‍යයෙන් ලබා ලබාදීම සෙසු ඡන්ද අපේක්ෂකයින් ට සහ පක්ෂවලට කරන බලවත් අසාධාරණයක් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංගනය කිරීමක් බැවින් වහාම මීට එරෙහිව පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් තම පක්ෂය ඉල්ලා සිටින බව සීමාසහිත උම්මත්තකයින් ගේ අද දින නායක මාතොට දේවසිරි තුමා කැකිරි එෆ් එම් වෙත ප්‍රකාශ කළේය.
'දෙයාර් ඉස් නෝ සච් තිං ඇස් බෑඩ් පබ්ලිසිටි' යන කාරණයද කොමසාරිස්වරයාට මතක් කල බවද, කැකිරිලන්තයේ මීළඟ ආණ්ඩුව යටතේ මෙවැනි 'චීප් පබ්ලිසිටි' තහනම් කිරීමට කිරීමට නීති සම්පාදනය කරනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

සීමාරහිත උම්මත්තකයින් ගේවෙනත් දේශපාලන සටහන්: 

http://malindawords.blogspot.com/2015/07/blog-post_23.html

1 comments:

asoka de silva said...

era paya era awarata giyado
viplawa gunaya sirikotha thula koyindo
ada wasarakin wath yali hiru payado
nathi bari ayata yali saranak labodo?