27 April 2018

'ජීවිතයේ බොහෝ දේ වෙනස් වුනත් වෙනස් වන්නේ ඉතා සෙමින්ය.'


අසූව දශකයේ ඉංග්‍රීසි රොක් සංගීත ක්ෂේත්‍රය වර්ණවත් කල එක් සංගීත කණ්ඩායමකි 'ඊගල්ස්'.  'හොටෙල් කැලිෆෝනියා', 'ඩෙස්පරාඩෝ', 'ටේක් ඉට් ඊසි', 'ටේක් ඉට් ටු ද ලිමිට්' වැනි ගීත හරහා ප්‍රසිද්ධියක් ලැබූ මේ කණ්ඩායම එම දශකය තුල ග්‍රැමී සම්මාන 6ක් සහ ඇමරිකානු සංගීත සම්මාන 6ක් දිනා ගත්තේය. 

ඉහත සඳහන් ගීත වලට වඩා අඩුවෙන් ජනප්‍රියත්වයක් ලැබු එකකි 'සෑඩ් කැෆේ'. විශ්‍රාම ගිය අරගලකරුවන් නැත්නම් අරගලය තුලම ජයග්‍රහණ නොමැතිව වයසට ගිය අය ගැන කියන කතාවක් 'සෑඩ් කැෆේ'.

පද කිහිපයක් ගනිමු. 

'කියන්න බැරි බොහෝ දේ 
මහා හඬින් ගායනා කළෙමු,
'ආදරය' 'නිදහස' වැනි වදන් වලින් 
ලොව වෙනස් කළ හැකි වෙතැයි සිතුවෙමු'

පසුව මෙවන් නිගමනයකට එළඹෙනවා: 'වෙනස් වෙනවා නම් ජීවිතයේ දේ වෙනස් වන්නේ ඉතා සෙමින්ය.'  විප්ලව ගැන ම නෙවෙයි මෙතන කියන්නේ.  වෙනස් වෙන්නේ සමාජය විතරක් නොවේ. වෙනස් වෙන එකටත් ප්‍රමාණයන් තියෙනවා.  සමහර දේවල් හිතාගන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙන අතර වෙනත් දේවල් නොවෙනස්ව පවතිනවා වගෙයි දැනෙන්නේ.  

දේශපාලනයේ අපි මේ තත්ත්වය නිතරම දකිනවා. ආණ්ඩු මාරු වෙනවා. ලොකු පුටු වල ඉන්න අය වෙනස් වෙනවා. එහෙම වෙනකොට විප්ලවයක් වුනා කියල ජයග්‍රාහිකයෝ පුරසාරම් දොඩනවා. සිස්ටම් වෙනස් වුනාද, සිස්ටම් එකේ ක්‍රියාකාරකම් වෙනස් වුනාද, ජීවිත වෙනස් වුනාද...මේවා ගැන වැඩිය හිතන්නේ නැහැ. මතුපිට සිද්ද වෙන වෙනස්කම් නම් ඉක්මනට පෙනෙනවා, දැනෙනවා; අන්තර්ගතය වෙනස් වුනාද නැද්ද කියල කල්පනා කරන්නේ පසුවට. 

මැටි කතාව පටන් ගන්නේ මෙතනින්. වුන දේවල් ගැනවත් වෙන දේවල් ගැනවත් නෙවෙයි, විය හැකි දේවල් ගැන. කල හැකි දේවල් ගැන.

මැටි කියන්නේ යකඩ නෙවෙයි.  යකඩ වලට වඩා පහසුවෙන් හැඩය වෙනස් කල හැකි ද්‍රව්‍යයක්.  මැටි ගුලියකට තදින් පහරක් ගැහුවොත් හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒත් සුළු වශයෙන්. මැටි ගුලිය අතට ගෙන බොහෝ වෙලාවක් අරගෙන හෙමීට ඇඟිලි තුඩු වලින් ඇත ගෑවොත් කැමති විදිහකට හැඩය වෙනස් කරන්න පුළුවන්. 

සරල කාරණයක්. සරල කතාවක්.  බොහෝ දේවල් වලට ආදේශ කරන්න පුළුවන් කතාවක්.  හෙමින්, කාලය අරගෙන, සංයමයෙන්, ඉවසීමෙන් දේවල් වල යෙදෙන්න වැඩි දෙනෙක් කැමති නෑ. ක්ෂණිකව සතුට ලඟා කරගන්නයි බලන්නේ. එක්තරා ආකාරයකට මේ යුගය විස්තර කරන හොඳම තනි වචනය 'හදිස්සිය' කියල කියන්න පුළුවන්. සල්ලි අවශ්‍යයි. ආදරය අවශ්‍යයි. ගෙයක් දොරක්, පවුලක් පන්සලක්, රස්සාවක්, උසස්වීමක්, කීර්තියක්, පිළිගැනීමක් අවශ්‍යයි. මේ හැම දෙයක් ම අවශ්‍ය හැකිතරම් ඉක්මනට.  හරියට මැටි ගුලියකට ඇත මිට මොලවාගෙන පහරක් එල්ල කරලා ගුරුලේත්තුවක් නැත්තම් මල් බඳුනක් තප්පර ගානකින් හදාගන්න උත්සාහ කරනවා වගේ වැඩක්.   

විප්ලවයත්, සංවර්ධනයත්, පාලනතන්ත්‍රයක් ඉවත් කිරීමත් ඔය වගේ ම තමයි.  තනි පුද්ගලයින් හිතන්නෙත් වැඩකරන්නේත් එහෙමයි.  සමූහය කටයුතු කරන්නෙත් එහෙමයි.  

මෙතන අදහස් කරන්නේ නෑ දේවල් වෙනස් වෙන්නෙත් නැහැ, වෙනස් කරන්නත් බැහැ කියල.  වරෙන් පහර දීල දේවල් වෙනස් කරන්න අමාරුයි.   යටපත් කරන්නත් අමාරුයි.  

ඊගල්ස් සංගීත කණ්ඩායමේ ඒ ගීතය රචනා කල පදරචකයා ජීවිත අත්දැකීමෙන් ඉගෙනගත්ත දෙයක් වෙන්න ඕන. ඒ පාඩම ඉගෙන ගන්න බොහෝ පාසැල් තියෙනවා. වට පිට බලන්න විතරයි තියෙන්නේ.         

මැටි කර්මාන්තයේ යෙදෙන කෙනෙක් වළඳක්, බඳුනක් හදන හැටි ටික වෙලාවකට බලාගෙන හිටියොත් අමතක නොවන පාඩමක් වෙයි කියලයි මට හිතෙන්නේ. 

ඇත්තටම කියාගන්න බැරි දේවල් අපි මහා හඬින් ගායනා කරනවා. කරන්න බැරි දේවල් ගැන බෙරිහන් දෙනවා. ආදරය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, සාමය, සංහිඳියාව, සමෘධිය වගේ වචන බහුලව පාවිච්චි කරන්නේ ඒවා නැවත නැවත උච්චාරණය කරනකොට ඉබේටම ඒ ඒ දේවල් පහල වෙයි කියල හිතාගෙන වගේ.  එහෙම වෙන්නේ නෑ නේ. 

ගමන දිගයි. අසීරුයි. ඊගල්ස් සංගීත කණ්ඩායම ගායනා කරන මේ ගීතයෙන් කියවෙන්නේ සදාතනික සත්‍යයක් කියලයි මටනම් හිතෙන්නේ. මැටි ගුලියක් වෙනස් වෙන, වෙනස් කරන ආකාරය ගැන පොඩ්ඩක් හිතන්න.  'වෙනස් වෙනවා නම් ජීවිතයේ දේ වෙනස් වන්නේ ඉතා සෙමින්ය.'  

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'     
Reactions:

0 comments: