05 September 2019

ඇරඹුම ද අවසානයද ඇල්පිටියෙන්

Pic courtesy adaderana.lk
තවත් එක ගමක්. නැවත එක ප්‍රාදේශීය සභාවක්. දේශපාලය ගැන උනන්දු වෙන කාටත් අමතක වෙලයි තිබුනේ.  උසාවි නියෝගයෙන් හැමෝටම ඇල්පිටිය කියල ගමක් තියෙනවා කියල මතක් වුනා. ප්‍රාදේශීය සභාවක් තියෙනවා කියල වැටහුණා. ඒ මැතිවරණයක් තියන්න වෙලා තියෙන නිසා. තවත් එක පුංචි ඡන්දයක් නෙවෙයි, එළඹෙන ජනාධිපතිවරණය ගැන සංඥාවක් දෙන මැතිවරණයක්. 

ඇල්පිටියේ මැතිවරණය පවත්වන්නේ ඔක්තෝබර් 11දා. ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශ කරන්නේ ඔක්තෝබර් දෙවෙනි නැත්තම් තුන්වෙනි සතියේ.  ඊට සති හත අටක් ගියාට පස්සේ රටේ ජනාධිපති කවර කියල නිශ්චිතවම දැනගන්න පුලුවන්. 

පුංචි ඡන්ද මහා ඡන්ද එක්ක සංසන්දනය කරන්න බැහැ, විශේෂයෙන්ම ජාධිපතිවාරණයක් සමග. ඒත් පුංචි ඡන්ද කියන්නේ ඡන්දදායකයා කොතනද ඉන්නේ, එයාලගේ තේරීම කොයි වගේද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන් අවස්ථාවක් සපයන කාරණයක්. ඒ නිසා මේ පුංචි ඡන්දේ හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ඇල්පිටියේ කඳවුරු බඳියි. පක්ෂවල ක්‍රියාධරයින් ඡන්දදායකයින්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වෙයි. ඇල්පිටිය දේශපාලන සැණකිලියක් වෙන්නත් පුළුවන්.  

2018 පෙබරවාරි මාසේ පැවැත්වුන පුංචි ඡන්දයේ ප්‍රතිඵල හැමෝම දන්නවා. 'පොහොට්ටුව' උඩින්ම දින්නා. ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවන් පහසුවෙන් දින්නා. එක්සත් ජාතික පක්ෂයට දිනා ගන්න පුළුවන් වුනේ නගර සභා කිහිපයක් විතරයි. 'උඩින්ම' නෙවෙයි. යාන්තමින්.  2018 පෙබරවාරි ඉඳල අද වෙනකල් ආණ්ඩුව කරපු මහා දෙයක් නැහැ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් එජාපය සහ සුළු වශයෙන් සිරිසේන ජනාධිපතිතුමා (මිස ශ්‍රීලංනිපයම නෙවෙයි) ගැන ධනාත්මකව හිතන්න හේතු ඉදිරිපත් වෙලා නැහැ. 2018 පෙබරවාරි මාසේ ආණ්ඩුව ගැන දැවැන්ත අප්‍රසාදයක් ඇති බව තහවුරු වුනා. අප්‍රසාදය ප්‍රසාදය බවට පෙරලුනේ නැහැ. අප්‍රසාදය වැඩි වුනා. ඉතිරිය හිතාගන්න අමාරු නැහැ.  

2018 ඡන්දයේ ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල බලමු. 'පොහොට්ටුවට' 50.57% යි. එජාපයට 26.65% යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට (ශ්‍රීලංනිපයට) 11.65% යි. ජවිපෙ ට 6.27% යි. මේ ඉලක්කම් මේ වෙද්දී වෙනස් වෙලා. ආණ්ඩු විරෝධය එදාට වඩා අද වැඩියි. ශ්‍රීලංනිපය තරඟ නොකලොත් 'සන්ධානය' ට ලැබුණ ඡන්ද 75,827 න් වැඩි කොටසක් පොහොට්ටුවට වැටෙන්න ඉඩ තියෙනවා. එම පක්ෂය පොදුජන පෙරමුණ සමග එකතු වුනොත්, පොහොට්ටුවේ ගොඩ තවත් වැඩිවෙයි. 

ඒ කියන්නේ 'ඇල්පිටිය' අතුරු මැතිවරණයක් වගේ. ජනමතවිචාරයක් වගේ. 

ඒත් ඇල්පිටිය කියන්නේ ශ්‍රී ලංකාව ද? ඇල්පිටිය ගමක් කියල කියන්න පුළුවන්, මන්ද ඇල්පිටිය කියන්නේ ගාල්ල නොවන නිසා. ඇල්පිටියේ සැලකිය යුතු මුස්ලිම් දෙමළ ප්‍රජාවක් නැති නිසා. නාගරික ඡන්දදායකයා හිතන විදිහයි ග්‍රාමීය ඡන්දදායකයා හිතන විදිහයි වෙනස්. දෙගොල්ලෝ ඇතැම් අවස්ථාවලදී එක තැනකට එනවා. ඒ 'ආණ්ඩු එළවීම' අනිත් හැම දෙයකටම වඩා වැදගත් වන අවස්ථාවල. 1970, 1977 මැතිවරණ ඒ වගේ අවස්ථා.  2015 ජනවාරි 8 දා වුනේ ඒකයි. මේ වෙනකොටත් එවැනිම තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියල තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඇල්පිටිය ඒ ගැන හොඳ විනිශ්චයක් ඉදිරිපත් කරයි කියල හිතන්න පුළුවන්. 

ජනතාවට ආණ්ඩුව එපා වෙලා තියෙන ප්‍රමාණය ඇල්පිටියෙන් දැනගන්න පුළුවන් වෙයි. අපේක්ෂකයෙක් නැතිව අපේක්ෂාවන් නැතිව ලතැවෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේ ස්වභාවය ඇල්පිටිය කියාවි.  ශ්‍රීලංනිපයට කණ්ඩායමක් ඉදිරිපත් කරයිද නොකරයිද නැත්තම් පොහොට්ටුවේ එල්ලෙන්න වෙයිද? එජාපයේ මැතිවරණ ව්‍යාපාරය සජිත්ට භාර දෙයිද නැද්ද? සජිත් භාරගනියිද නැද්ද? ඒ ගැන පක්ෂයේ තීන්දුව පක්ෂ නායකත්ව අර්බුදයට මොන විදිහට බලපායිද? තීන්දුව විතරක් නෙවෙයි, තීන්දුවක් ගැනීමේ අර්බුදයක් තියෙයිද? ජවිපෙ මොන විදිහට ක්‍රීඩා කරයිද? අවුට් වෙයිද, කඩුල්ලේ රැඳෙයිද? මේ ප්‍රධාන දේශපාලන පක්ෂ/සන්ධාන වලට පරිබාහිර දේශපාලනයක් ගැන හිතන සහ කටයුතු කරන පුද්ගලයින් සහ සංවිධානවල දේශපාලන වලංගුභාවය ප්‍රශ්න වෙයිද? මැතිවරණ දේශපාලනය හරහා 'විකල්ප' ගොඩ නගන්න බැරි බව එයාලට තීන්දු කරන්න වෙයිද (ජවිපෙ මේ කාරණය ඉගෙන ගෙන නැති බවයි පෙනෙන්නේ)? 

ඇල්පිටිය මායිමක් නොවේ. ලිට්මස් පරීක්ෂාවක්ම වේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අල්පිටියෙන් ලැබෙන්න නියමිතයි කියලත් හිතන්න පුළුවන්. රැල්ලක මුල අල්පිටියෙන් ලැබේවි. රට යන අත නැත්තම් රට ගොස් ඇති අත ඔක්තෝබර් 12දා වෙනකොට හැමෝටම හිතාගන්න පුළුවන් වෙයි. පුංචි ඡන්දය මහා ඡන්දයේ සමස්ථ ප්‍රතිඵලයේ ඡායාව රටට පෙන්නන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. 

ඇල්පිටියේ ඡන්දදායකයා ආණ්ඩු හදන්නෙක් බවට පත්වෙලා. හදිස්සියේම. මැතිවරණ දේශපාලනය සහ විශේෂයෙන්ම මේ මැතිවරණය සැණකෙළියක් වුනත්, ඒක ලොකු වගකීමක්. රටේ දිශාව කෙසේ වෙතත් දිශාව තීන්දු කරන්නන් තෝරාගැනීමේ දී ඇල්පිටියේ ඡන්දදායකය පෙරගමන්කරුවෙක්. 

ඇල්පිටිය ඇරඹුමක්. අවසනක් වුනත් වෙන්න පුළුවන් ඇරඹුමක්. 

'අරුණ' පුවත්පතට ලියූ වෙනත් ලිපි 

තාජුදීන් එන්න, මල් පිපී දැයි බලන්න 

ජනපති සිහින: විහිළුසහගත සහ සීරියස්

ගෝටට හනිකට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය

0 comments: