06 October 2019

ඉන්න හිතෙන රටක් ද කන්න හිතෙන රටක්ද?


සුද්දා යන්න ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ. ලිව්වේ සුනිල් ආරියරත්න, ගැයුවේ නන්දා මාලිනී. වික්කේ ජවිපෙ. මේ රටේ ඉන්න හිතුන සහ හිටිය සුද්දෝ නැතුව නොවේ. ඒ අතර මේ රටට ආදරේ කරපු, මේ රටේ ඉතිහාසයට සංස්කෘතියට ගරු කරපු සුද්දොත් හිටියා. ඒත් බහුතර සුද්දන්ට මේක කන්න හිතුන රටක්. කෑව රටක්.  ගසා කෑව රටක්. ගසා කන රටක්.

කෑම සහ ගසා කෑම සුද්දන්ට සීමාවුන ක්‍රීඩාවක් නොවේ. සුද්දෝ වගේම කල්ලෝ සහ කළු සුද්දෝ මේ ක්‍රීඩාවේ දක්ෂකම් දක්වලා තියෙනවා. 'සුද්දෝ' කියන්නේ සුදු හැම තියෙන අයටම නෙවෙයි. මෙහෙම හිතමු -- 'සුද්දෝ = පිටරැටියන්'. එතකොට චීන්නු, ඉන්දියානුවෝ, ජපනු වුනත් 'සුද්දෝ' වෙනවා. පහසුවට එහෙම නිර්වචනය  කරමු.

ඇත්තම කතාව මේකයි. කන්න හිතෙන්නේ ඉන්න හිතෙන රටවල් විතරයි. නැත්තම් කන්න යමක් තියෙන රටවල්. ඒ කියන්නේ වටිනා ස්වභාවික සම්පත්, වෙළඳපොළවල්, යුධමය වටිනාකමක් තිබීම වගේ දේවල්.  ඒ කියන්නේ ගසා කන්න පුළුවන් දේවල්. ශ්‍රමයත් එහෙම දෙයක් අමතක නොකළ යුතු.

කන, ගසා කන පුද්ගලයාගේ ජාතිය ආගම කුලය සහ රට ඒ තරම්ම වැදගත් නෑ. වැදගත් වෙන්නේ කෑම සහ ගසා කෑම.  කන ගසා කන සමස්ථ ක්‍රියාවලියේ විවිධ පාර්ශවයන් දකින්න පුළුවන්. සුද්දෝ ඉන්නවා. කල්ලොත් ඉන්නවා. කළු සුද්දොත් ඉන්නවා. ක්‍රියාවලියෙන් මිරිකලා ගන්නා දේ මෙයාල අතර අඩු වැඩි වශයෙන් බෙදෙනවා. බෙදාගන්නවා. වැඩි ප්‍රමාණයක් සමහර විට යන්නේ පිටරට බැංකු ගිණුම් වලට. ඒ 'සුද්දගේ' කොටස. කල්ලන්ගේ සහ කළු සුද්දන්ගේ කොටස් ඒ වගේම පිටරට බැංකු ගිණුම් වල නතර වෙනවා බොහෝ අවස්ථාවලදී.  ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි. ක්‍රියාත්මක කරන, ක්‍රියාත්මක කිරීම පහසු වෙන විදිහට නීති සම්පාදනය කරන, ක්‍රියාවලියට විරුද්ධ වෙන අයට නඩු දාන එකට සහ තඩිබාන එකට විවිධ මිල ගණන් නියම වෙනවා.

 රටක් තියෙනවා තමයි. තවමත් ඉන්න හිතෙන රටක්. ඒ රට තුල කන්න හිතාගෙන ඉන්න අයත්, කෑම සඳහා සුදුසු අවකාශ නිර්මාණය කරන අයත් ඉන්නවා. දැන හෝ නොදැනුවත්ව මේ ඉන්න හිතෙන රට කන්න හදන අයට හැමෝම අඩු වැඩි වශයෙන් උදව් කරනවා. එක්කෝ කීයකට හරි විකිනෙනවා. නැත්තම් නිහඬ අනුමැතිය ලබා දෙනවා.  

ඉන්න හිතෙන රට කන්න නොදෙන තත්ත්වයක් උදා කරගන්නේ කෙසේද? වැඩේ පහසු නෑ. රට කෑම සඳහා ගොඩ නගන සහ ගොඩ නැගුනු සියලු ව්‍යුහයන්, ක්‍රියාදාමයන් සහ නීති පද්ධති ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඒවාට අදාළ පුද්ගලයින් හඳුන ගන්න ඕන. ඉන්න හිතෙන රටක් හැටියටම මේ රට ආරක්ෂා කරන්න උවමනාවක් සහ කැපවීමක් තියෙන්න ඕන.

ඒක පුළුල්ව සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ සඳහා වේදිකාව ඇත්තේ මෙතන නොවේ. ඒත් අඩුම තරමින් රැවටිල්ල ගැන අවදියෙන් ඉන්න පුළුවන්. ඇඩ් එක වසන් කරන ඇත්ත තේරුම් ගන්න ඕන.

'ඕං අපි ගියා' කියල සුද්දා කියද්දී 'නියමා....යි' කියල ජය පැන් බිව්ව රටක් ශ්‍රී ලංකාව කියන්නේ. සුද්දා රට බාර දුන්නේ කාටද? කල්ලන්ටද කළු සුද්දන්ටද? මුලින් ටයි කෝට් ඇඳපු කළු සුද්දන්ට, පසුව ටයි කෝට් ගලවලා රෙද්ද බැනියම ඇඳගත්ත 'අපි මහා කළු සිංහලයෝ' කියල කියාගත්ත කළු සුද්දන්ට. ඒ වගේම සුද්දා නැත්තම් 'සුදුකම' නැත්තම් 'යටත්විජිත මානසිකත්වය' අපේ සිත් තුල නේවාසිකව රඳවලා 'අපි ගියෝ' කිව්වා බව සිහි කරන්න ඕන.

රට කන අය 'අපි එන්නේ රට කන්න' කියල ඇඩ් දාන්නේ නෑ. දානවා නම් දාන්නේ 'ඉන්න හිතෙන රටක් හදමු/මි' කියලා. එහෙම කියන අයගේ දේශපාලන ඉතිහාසය හොයන්න ඕන. එයාල දේශපාලනිකව සන්ධානගත වෙලා ඉන්න පිරිස් වල දේශපාලන ඉතිහාසය හොයන්න ඕන. 'රට රකිමි' කියද්දී රට කන, රට ගසා කන, පරිසර පද්ධති විනාශ කරන ආර්ථික ප්‍රතිපත්ති යෝජනා කරනවා නම් ඒ ඊනියා රට රකින්නන්ගේ දේශප්‍රේමිත්වය ප්‍රශ්න කරන්න ඕන.    

ඒ හැමදේටම වැඩිය ''රට කෑමට' තමන් දායක වෙන්නේ කොහොමද?' කියන ප්‍රශ්ණය තමන්ගෙන්ම අහන්න ඕන.  එහෙම කරන්න කම්මැලි නම් රට ගැන කතා අවශ්‍ය නෑ. ඉන්න හිතෙන රටක් ද, කන්න තියෙන රටක්ද කියන එක සටන් පාඨ දේශපාලනයට සීමා වෙයි. එච්චරයි වෙන්නේ. කෑම ජයටම සිද්ධ වෙයි. ඉන්න හිතෙන රට කාල දාල යයි . අපිත් මොන මොනවා හරි ගිලියි. අවසානයේ ඉන්න හිතෙන්නෙම නැති රටක් ඉතුරු වෙයි.

'අරුණ' පුවත්පතට ලියූ වෙනත් ලිපි 

0 comments: