18 March 2018

බළල් කුණට පින් සිද්ද වෙච්චාවේ!



චුවින්ගම් චූන් ඉවරයි.  බ්‍රේස්ලට් චූන් ඉවරයි. ෆෝක්ස්වැගන් චූන් ඉවරයි. ෆ්‍රී වයිෆයි චූන් ඉවරයි. ලම්බෝගිනි, රත්තරන් අස්සයෝ කතන්දර ඉවරයි. තාජුදීන් ගොඩගන්න වළලන නැවත ගොඩගන්න නැවතත් වළලන චූන් ඉවරයි.  යහපාලන චූන් විතරක් නෙවෙයි යහපාලන සිහිනත් ඉවරයි.  ඒ ගැන නම් දුකයි.  'සාමය' කුණුහරුපයක් කරපු අය 'සංහිඳියාව' වගේම යහපාලනයත් කුණුහරුපයක් බවට පත්කරලා.  

කොහොම වුනත් චූන් ඉවරයි.  ආණ්ඩුව ෆේල්.  ඒ කිව්වේ අගමැති ත් ෆේල්, ජනපතිත් ෆේල්. "නීතිය හා සාමය" විෂය කොට්ටේ පාස් කරන සෙල්ලමක් වගේ එහා මෙහා කරන අතරේ කුණු කානුවකට වැටිලා කුණු වතුරේ ගහගෙන ගියා වගේ දෙයක් තමයි වුනේ.  වැටුන ද විසි කෙරුවද කියල ෂුවර් නැහැ ඒත්.       


කොහොම වුනත් 'කුජීතයි' කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා.  ඒ වුනාට මේ දේශපාලන මොහොත පිළිබඳව  ඊට එහා ගිය දේශපාලන කියවීමක් අවශ්‍යයයි. ඒ සඳහා බළල් කුණක් පාවිච්චි කරමු.


මී කුණේ කතාව එන්නේ චුල්ලසෙට්ඨි ජාතකයේ. ඒත් බළල් කුණේ කතාවක් ජාතක පොතේ නැහැ.  සිද්ද වෙන්නේ හරිම සරල දෙයක්. බරපතල තත්ත්වයක් සාකච්ඡා වෙද්දී කතාව මැදට කව්රුහරි බළල් කුණක් විසි කරනවා.  සමහරු කළබල වෙනවා. සමහරුන්ට තරහ යනවා. අප්පිරියා හිතෙනවා.  කොහොම වුනත් අර සීරියස් සාකච්ඡාව නතර වෙනවා. 


කව්ද බළල් කුණක් මෙතනට වීසි කලේ? ඇයි එහෙම දෙයක් කෙරුවේ? මේකට දැන් මොනවාද කරන්නේ? ඉවත් කෙරුවත් ගඳට මොනවාද කරන්නේ? ප්‍රශ්න වැලක්. උත්තර කෝටියක්. රටේ දැවෙන ප්‍රශ්නය දැන් බළල් කුණ.  සෙසු ප්‍රශ්න අහකට. පසුවට. 


දිගන, තෙල්දෙණිය, අඹතැන්න සහ මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් තැන් වල ඇතිවුන ගැටුම්, ගිණිතැබීම් සහ පහරදීම් 'බළල් කුණක්' කියල කියන්න බැහැ. සිදුවීමක්, කැළඹීමක් සහ කැළඹීම ට පෙට්‍රල් දැමීම, ගිනි නිවන්න සමාජ මාධ්‍යය ට වාරණ දැමීම. මේවා සිද්ද වුනා.  


සාකච්ඡා කරමින් සිටියේ මොනවාද? මහා බැංකු මංකොල්ලය, එජාපයේ නායකත්ව අර්බුදය, කැබිනට් තනතුරු කලවම් කිරීම, පළාත් පාලන මැතිවරණය සහ ආණ්ඩුවේ වලංගුභාවය, හොරු ඇල්ලීම, හොරු ඇල්ලීම පැත්තක තියල හොරකම් කිරීම, තාජුදීන් ගොඩගැනීම-වැලලීම-ගොඩගැනීම, එජාප-ශ්‍රීලංනිප සන්ධානයේ අනාගතය, මෛත්‍රිපාල සිරිසේන සාධකය හීන වීම, සංහිඳියාව, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යනාදිය ඉවතට. 


ඔන්න ඔහොමයි 'මහනුවර' බළල් කුණක් කරගත්තේ.  වෙච්චදේ හරියට සන්නිවේදනය කෙරුවේ නැහැ. කිරිඇල්ල මහත්තය කතාව සමස්ථ සිංහල බෞද්ධ ප්‍රජාවටම බැර කෙරුව. අන්තිමට බලනකොට එයාම කියනවා 'බුද්ධි අංශ දුර්වල වෙලා' කියල. දුර්වල කෙරුව එයාලම බව කිව්වේ නැහැ. ආරක්ෂක අංශ උඩ බලාගෙන හිටපු එක කිව්වේ නැහැ. ජනාධිපති ජපානයේ දී බොදු බල සේනාවේ ප්‍රධානීන් මුණගැහුණු බව කියන එකකුත් නැහැ.  


'මහනුවර' කියන බළල් කුණ සිය කාර්යභාරය අකුරටම ඉටු කෙරුව. දැන් ඉතින් අගමැතිට හරි ජනාධිපතිට හරි අගවිනිසුරුට හරි බඩේ අමාරුවක් හැදුනත් සමාජ මාධ්‍යය බ්ලොක් කරන්න ඉඩ තියෙනවා. ජාතීන් අතර සමගිය, රටේ ආරක්ෂාව, සංහිඳියාව තහවුරු කිරීම වගේ මොකක් හරි හේතුවක් ඉදිරිපත් කරයි ඒ එක්කම.  බළල් කුණක් විසි කරලා නෙලා ගන්න පුළුවන් අතුරුඵලත් තියෙන බව මතක  ගත යුතුයි.


බළල් කුණ පාවිච්චි කරන්න පටන් ගත්තේ අද ඊයෙක නෙවෙයි.  මෑත ඉතිහාසය දිහා බලමු.  අවුරුදු තිහේ යුද්ධය බළල් කුණක්. ඉන්දු-ලංකා ගිවිසුමත් බළල් කුණක්. සටන් විරාම ගිවිසුම්, සාම සාකච්ඡා, ව්‍යවස්ථා සංශෝධන, විධායක ජනපති ධූරය අහෝසි කිරීම, ඒකීය-ෆෙඩරල් කතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් කියන්න ඕනද නැද්ද, ජාතික කොඩියේ හැඩය වෙනස් කරන එක හරිද වැරදිද, ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම්, රතුපස්වල, DCD, කැළණි ගඟට කොකා කෝලා සමාගමේ අපද්‍රව්‍ය මුදා හැරීම, රොහින්ග්‍යා සරණාගතයින්, මානව හිමිකම් සභාවේ සැසිවාරයන්, ඔය වගේ තව උදාහරණ දෙන්න පුළුවන්. 


අවසානයේ දේශපාලන බලවතුන් ට කිසිම හානියක් වෙන්නේ නැහැ. 'ක්‍රමය' එහෙමමයි. සීරියස් කතා කුණු කූඩෙට, බළල් කුණත් සමගම. 


චූන් ඉවරයි, ඒත් මෝඩ චූන් කාරයින්ට අවුලක් නැහැ. බළල් කුණකට පින් සිද්ද වෙන්න.


'බඹර' සඟරාවට ලියු වෙනත් ලිපි 

ටක්-ටික්-ටුක්....වම්-දක්-වම්!
බිව්වේ නෑ....ටිකක් පෙවුනා!
පොහොට්ටු නම් පිපෙයි ජනතාව නම් හැකිලෙයි
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම
    

0 comments: