කියන විදිහට රටේ ලොකුම දේශපාලන සංවිධානය. කියන විදිහට ඉතිහාසය දිග වගේම කීර්තිමත්. කෙසේ වෙතත් 2018 පෙබරවාරි 10 දා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නම් කියන්නේ කුට්ටියේ ප්‍රමාණය 30%ටත් වඩා අඩු බවයි. පක්ෂවලට එහෙම වෙනවා. එහම වුනා කියල පක්ෂ නැත්තටම නැති වෙන්නේ නැහැ. මැතිවරණ විසි තිස් ගානක් පැරදිලත් මහා මැතිවරණය දිනා ගන්නවා. එහම වෙලා තියෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ මුහුණ දෙමින් ඉන්නේ බරපතල අර්බුදයකට.
ඒ ගැන තැවෙන අය ඇති. පවතින අර්බුදයට උත්තරයක් එයාල බලාපොරොත්තු වෙනවත් ඇති. උත්තරයක් ලැබෙයි නැත්තම් නොලැබෙයි. ඒවා එජාපයට ආදරේ අය සතු දේවල්.
මේ සටහන ලියන්නේ නම ගැන. ඔව්, වෙනත් පක්ෂ වල නම් ගැනත් ලියන්න පුළුවන්. ලියන්න ඕන. ලියන්නම්.
මුලින් මේ 'දැවැන්ත' පක්ෂය ගැන චුට්ටක් හිතමු. නම ගැන.
එක්සත්. නෑ. එක්සත් නෑ. මේ මොහොතේ සජිත් එක පැත්තකට අදිනවා. රනිල් තව පැත්තකට අදිනවා. ඒ අතර යහපාලනය පවට කරුවක් ඉදිරිපත් වෙනවා. ඩඩ්ලි-ජේආර්, ඩඩ්ලි-බණ්ඩා, සිරිමා-මෛත්‍රිපාල ( සේනානායක), ඇන්ඇම් වාසු, වාසු බාහු වැනි නායකත්ව අර්බුද මේකට සාපේක්ෂව සිල්ලර රණ්ඩු, පැණි වලි. පරාජ වීමට ඉඩකඩ ඇති මොහොතක විය යුත්තේ සතුරාට ශක්තිමත් විදිහට මුහුණ දෙන එක. නොවිය යුත්තේ පුද්ගලවාදී අස්තානයන් තෝරා ගැනීම. වෙමින් පවතින්නේත් ඒකමයි.
ජාතික. ඒ කාලේ ජාතීන් ('ජාතිකවාද' කියන එක ඊ කාලේ සුලබ යෙදුමක් නෙවෙයි) එකතු කරන්න උත්සහා කෙරුවේ ලිබරල්වාදී අරමුණක් වෙනුවෙන් නෙවෙයි. වම පරද්දන්න. ජාතීන් එකතු කෙරුව නෙවෙයි, ජාතීන් ඇන්දුවා. නැහැ. වැරදියි. අන්දමින් පුද්ගලවාදී අරමුණු ඉෂ්ට කරගන්න ඒ ඒ ජනවර්ග නියෝජනය කරපු නායකයෝ අදාල ජනවර්ග අන්දන බව දැනගෙන 'එක්සත්' කියන වචනෙට මුවා වුනා. ඒකයි වුනේ.
කොහොම වුනත් එජාපය 'ජාතික' කියන දේ තේරුම් ගන්නේ අමුතු විදිහකට. 'ජාතික' කියන සියලු දේ හෑල්ලු කරනවා. විනාශ කරනවා. විකුණනවා.
පක්ෂය. හ්ම්ම්. රනිල් කියන විදිහට පක්ෂය කියන දේ තව දුරටත් දේශපාලනිකව වලංගු නෑ. සන්ධානය තමයි වලංගු. නාම පුවරු පක්ෂවල අදහස් විමසන්න කියල සජිත්ට අණ දෙන්නේ ඒ නිසයි. රනිල් වැරදීම නෑ. තනි පක්ෂ වලට පවතින දේශපාලන, මැතිවරණ ක්‍රමය තුල පැවැත්මක් නැති බව අවුරුදු 25ක (1994 සිට) මැතිවරණ ඉතිහාසය උගන්වන වැදගත්ම පාඩමක්. පක්ෂ අවලංගු වෙලා නෑ, නමුත් වලංගු වෙන්නේ සන්ධානය කියන කාරණය තුල විතරයි. එහෙම නොහිතන පක්ෂ මේ දේශපාලන අවකාශය තුල අසාර්ථකයි. සන්ධාන ගැන හිතන අය ගොඩ යනවා, නොහිතන අය වැලලෙනවා. මැතිවරණ වලට පුළුල් පෙරමුණු හදන්න උත්සාහ කරන්නේ ඒ නිසයි. තනි පක්ෂ වලංගු වෙන්නේ විප්ලවකාරී දේශපාලනයේ යෙදෙනවා නම් පමණයි. එහෙම ඒවා තියෙනවා, නැත්තේ නෑ. එයාලටත් මොහොතක් එනවා නම් හොඳයි. මේ ඒ මොහොත නෙවෙයි.
නොගැලපෙන නමක් තියෙන එකම පක්ෂය එජාපය ද? නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙමයි. සරල ප්‍රශ්නයකින් කතාව නවත්තන්න පුළුවන්: පක්ෂයක් ද? තව කියන්න දේවල් තියෙනවා. ශ්‍රීලංනිපය 'ශ්‍රී ලංකාව' දැකල තියෙන්නේ එජාපය 'ජාතිය'දැකල තියෙන විදිහටමයි. විශේෂයෙන්ම චන්ද්‍රිකා සහ මෛත්‍රී යටතේ. මහින්ද ඒ තරම්ම වෙනස් නෑ. නිදහස්? කාගෙන්ද නිදහස්, මොකෙන්ද නිදහස්? 'නිදහස' තේරුම් ගත්තේ, තේරුම් ගන්නේ කොහොමද? පැහැදිලි නෑ. පැහැදිලි කරලත් නෑ. පැහැදිලි කරන්න උවමනාවකුත් නෑ.
එතකොට පොහොට්ටුව? සොරී, 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ'? ඔන්න ආයෙත් අර පහසු ලේබලය -- ශ්‍රී ලංකා. පොදුජනතාව විසින් පොදුජනතාව සඳහා පොදු ජනතාව සමග කරන දේශපාලනයක් නෙවයි ශ්‍රීලංපොපෙ කරන්නේ. පොදුජනතාව 'වෙනුවෙන්' කියල එයාල කියන්න ඉඩ තියෙනවා, ඒත් ඕකම තමයි හැම පක්ෂයක්ම කියන්නේ. කොහොම වුනත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණට කියන අලුත් නම. එහෙම කියන එක වැරදි නෑ.
ජනතා විමුක්ති පෙරමුණ. විප්ලවය විශ්‍රාම යවලයි තියෙන්නේ. පෙරමුණක් නෙවෙයි පෙරමුණු එල්ලෙන සංවිධානයක්. ජනතාව අන්දපු, මරපු සංවිධානයක් (ඔව්, එජාපය, ශ්‍රීලංනිපය වගේම). ජනතාව එජාපයේ සහ ශ්‍රීලංනිපයේ සාක්කු වලට මාරුවෙන් මාරුවට දාපු සංවිධානයක්. විමුක්ති? චන්ද්‍රිකාගේ පුතා. වෙන දේශපාලන කතාබහක් නැහැ. ඒ විමුක්ති ගැනත් වැඩි කතාවක් නැහැ.
ඕක තමයි දේශපාලන සංවිධාන ගැන කියන්න තියෙන්නේ. සංවිධාන වල නම් ගැන කියන්න තියෙන්නේ. පුදුම වුය යුතු නෑ. අපි ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයේ. ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. සමාජවාදයක චායාවක්වත් නෑ. ජනරජයක් නම් නෙවයි. විහිළුවටවත් කියන්න හොඳ නෑ. ඒ හින්ද වෙන්න ඇති නිකම්ම 'ශ්‍රී ලංකාව' කියන්නේ. ඒ හින්ද වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂ කියන්නේ නැතුව 'යූඇන්පී' කියල කියන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන්නේ නැතුව 'එස්එල්එෆ්පී' කියල කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණ කයන්නේ නැතුව 'ජවිපෙ' කියල කියන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නැතුව 'පොහොට්ටුව' කියල කියන්නේ.
තාජුදීන් එන්න, මල් පිපී දැයි බලන්න
0 comments:
Post a Comment