මම දන්නා අවුරුදු හතක ළමයෙක් ඉන්නවා. වයසේ හැටියට චෙස් ක්‍රීඩාවට දක්ෂයෙක්. එයාගේ අයියට වයස අවුරුදු 14 යි. මල්ලි අයියට වඩා දක්ෂයි. දෙන්නා දැන් නම් චෙස් සෙල්ලම් කරන්නේ නෑ. සෙල්ලම් කරපු කාලයක් තිබුනා. දින්නේ අයියා. මල්ලි දිනන්න පටන් ගත්තට පස්සේ අයියාට ලැජ්ජ හිතෙන්න පටන් ගත්තා. දවසක් තරඟය අතර මග අයියා චෙස් ලෑල්ල කුඩු කෙරුවා. 'ඇයි එහෙම කලේ?' කියල අම්ම අහල තියෙනවා. අයියා අපූරු උත්තරයක් දුන්නා: 'මල්ලි පැරදෙන්නයි ගියේ. පැරදුනොත් මල්ලිට දුක හිතෙයි කියලයි මම එහෙම කෙරුවේ!'
මේ කතාව අහන්න ලැබුනේ 2019 සැප්තැම්බර් මාසේ 19දා. කතාව කිව්වේ ළමයින්ගේ අම්මා. මට හොඳටම හිනා ගියා. ඒ කතාව විහිළුසහගත නිසා නෙවෙයි. රනිල්වයි මෛත්‍රිපාලවයි මතක් වුන නිසා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එයාල ගත්ත උත්සාහය මතක් වුන නිසා.
රනිල්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්වෙලා. මෛත්‍රීපාලට පක්ෂයක් නැති තරම්. දෙන්නා ඇමැති මණ්ඩලය ඇමතුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක් සම්මත කරගන්න. වැඩේ දෙල් වුනා කියල හැමෝම දන්නවා. දෙල් කලේ කව්ද කියන එක ගැන දැන් දෙන්නා දෙන්නට ඇඟිලි දික්කරනවා. බහුතරය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධ වෙලා. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල කිව්වේ බොරු. නැත්තම් ඒ ගැන තමන්ගේ මතය වෙනස් කරලා.
අපට වැදගත් වෙන්නේ රනිල් මෛත්‍රිපාල දෙපල මේ වගේ යෝජනාවක් මේ වගේ මොහොතක ගෙනාවේ ඇයි කියන එකයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණට දින නියම කරලා තියෙන මොහොතක. මෛත්‍රීපාලට ජනාධිපතිවරණයකට ඉල්ලන්න සදාචාර අයිතියක් නෑ. ඒ වුනාට ඉල්ලන්න කැමතියි වගේ. ඒත් ඉල්ලන්න වෙන එකක් නෑ. රනිල්ට පක්ෂ අර්බුදය විසඳගන්න තියෙනවා ඉල්ලන නොඉල්ලන එක ගැන හිතන්න ඉස්සෙල්ලා. ඉල්ලුවත් දිනන්න වෙන්නේ නැහැ කියල මේ දෙන්නම නොදන්නවා වෙන්න බෑ. එයාලට විතරක් නෙවෙයි එයාලගේ පක්ෂවලින් ඉල්ලන කිසිම කෙනෙක්ට දිනන්න බැහැ කියලත් හිතනවා ඇති. ඒ නිසා දෙන්න විධායක ජනාධිපති ක්‍රමය කියන චෙස් ලෑල්ල පෙරලන්න ට්‍රයි කෙරුවා කියලයි හිතන්න වෙන්නේ.
ඒත් ඒ කතා කියන එක පාඩුයි. ඒ නිසා අයියට දුකක් ඇතිවුනා වගේ 'ප්‍රජාතන්ත්‍රවාදය' මේ අයියලා දෙන්නා 'මල්ලි' කරගෙන. මට හිතෙන්නේ එහෙමයි. එයාල දෙන්නගෙන් යැපෙන නැත්තම් එයාල ගැන එයාලගේ පක්ෂ ගැන අන්ධ භක්තියක් තියෙන අය සාධුකාර දෙයි. වෙලා තියෙන්නේ පරදින්න යනකොට කඩුලු උස්සගෙන යන්න හදන එක. හැබැයි වැඩේ මාට්ටු.
පැරදුනේ මේ දෙන්න විතරක් නෙවෙයි. කරු ජයසුරියත් පැරදුනා. කරු කිව්වේ එයා තරඟ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අරමුණින් කියලයි. දැන් එයාගේ සහයෝගයට එජාපයේ කව්රුවත් නෑ. සහයෝගය ලැබෙනවානම් ඇමති මණ්ඩල රැස්වීමේ කිව්වේ බොරු කියල ඒ අත් උදව් කාරයින්ට කියන්න සිද්ද වෙයි. නැත්තම් මහා ලොකු තර්ක ඉදිරිපත් කරන්න වෙයි ස්ථාවරය වෙනස් කරපු එක ගැන. ඇත්තටම කරු ගැන හිතද්දී රනිල් මේ සියලු දේ කෙරුවේ මුල් වටයේම කරු නමැති ප්‍රතිවාදියා තරඟයෙන් ඉවත් කරන්න කියලත් හිතෙනවා. රනිල් ඒ වගේ දේවල් වලට දක්ෂයි.
කොහොම වුනත් කැබිනට් තීරණයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ. එකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඕන. අමතරව ජනමතවිචාරයකින් තව දුරටත් සම්මත කරගන්න ඕන. එක්කෝ දන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ එහෙම දෙයක් කරගන්න බැරි බව නම් දන්නවා ඇති. කොහොම වුනත් පවතින අර්බුද නිසා කල්පනාව ටිකක් දුර්වල වෙලාද කියලත් හිතෙනවා.
මේ හැම දෙකටම වැඩිය වැදගත් වෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් ගේ භූමිකාවයි. කතාන්දරය පිටිපස්සෙන් ඉඳල තියෙන්නේ එයා. එයාගේ උවමනාව ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. එයාගේ පක්ෂය එක කාලෙක ත්‍රස්තවාදියෙක් ට සැලියුට් දැම්ම බව කාටත් මතක ඇති. කොහොම වුනත් සුමන්තිරන් ට විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒ මගින් ෆෙඩරල්වාදයට පාර කැපෙන නිසා. මේ මොහොතේ ඔය එක ප්‍රජාතන්ත්රවාදියෙක්වත් පළාත් සභා මැතිවරණ කල් දැමීමේ තක්කඩිකම ගැන නිහඬ වුනත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙලා තියෙන තත්ත්වයක 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන ආකාරයටයි. අහෝසි කරනවා නම් මුලිනම් අහෝසි කරන්න ඕන කිසිම වැඩකට නැති, තක්කඩිකමෙන්, නීති විරෝධී ලෙස සම්මත කරගත්ත 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි. සුමන්තිරන්ගේ ව්‍යාපෘතිය එයයි.
ඒකමයි එයාගේ දුකට හේතුව. එයත් මෙතන පැරදුනා. කරු වගේම. රනිල් සහ මෛත්‍රීපාල වගේම. යහපාලන සන්ධානයේ සියලු දෙනා වගේම සුමන්තිරනුත් පැරදුනා. රනිල් මෛත්‍රිපාල දේපල හැදුවේ කඩුලු උස්සගෙන යන්න. සුමන්තිරන් බැලුවේ තමන්ට සහ බෙදුම්වාදයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනම ක්‍රීඩාවක් සඳහා වටපිටාව හදා ගන්න.
මේවා ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කරන දේවල් නෙවෙයි. දේශපාලන අවලංගුභාවය ගැන කතන්දර. කඩුලු උස්සගෙන යන්න වුනා කියන්නෙම පරාජය භාරගැනීමක් එක්තරා ආකාරයක. ක්‍රිකට් වෙනුවට රගර් නැත්තම් චෙස් වෙනුවට කැරම් යෝජනා වෙන්නේ රගර් නැත්තම් කැරම් වඩා හොඳ ක්‍රීඩා නිසා නෙවෙයි. ක්‍රිකට් ගහල දිනන්න බැරි චෙස් ගහල දිනන්න බැරි අයගේ යෝජනා. එහෙමයි තේරුම් ගත යුත්තේ.
0 comments:
Post a Comment