04 May 2018

ලිං මැඩියන්ට උපහාර පිණිසයි

ලිං මැඩියෝ දන්නේ නැතුව ඇති එයාල මොනතරම් අපහාසයට ලක් වෙනවද කියල.  බල්ලෝ දන්නෙත් නෑ. හරක්, මී හරක්, බූරුවෝ, කලවැද්දෝ වගේම ලිං මැඩියොත් අහිංසක සත්තු, නොකළ වැරදි වලට අපහාස විඳින. එයාලගේ භාෂාවලින් එකිනෙකාට 'මිනිහෙක් වෙන්න එපා ඩෝ!' 'මිනිස් වැඩ කරන්න එපා යකෝ!' වගේ දේවල් කියනවද දන්නේ නෑ.  කොහොම වුනත් තමන් ගැනත්, අනුන් ගැනත්, සත්තු ගැනත් මිනිස්සු බොහෝ දේ දන්නවා, බොහෝ දේවල් කියනවා.  සත්තු හිතන හැටි අනුමාන කරනවා. 

'ලිඳ මගේ නම්, මම ලිඳේ නම්, කාටවත් ඇයි වේදනා?' 'මීට ලිං මැඩියා' කියල යටින් ලියල තිබ්බේ නෑ. මැඩියන් ට ඕවා අදාළ ද නැද්ද කියන්න මම නම් දන්නේ නෑ, ඒත් කව්රුහරි 'මැඩි සිත වැඩ කරන්නේ මෙහෙමයි' කියල හිතන්න ඇති. සමහර ත්‍රී වීල් වල ඔය වැකිය ලියල තියෙන්නේ මැඩියන් ට කියවන්න නෙවෙයි.  ඒවා කියවන්නේ මිනිස්සු.   

"ලිං මැඩියෙක් වෙන්න එපා බං!" තමන් ගේ දැනුවත්කමත් වෙන එකෙක්ගේ නොදැනුවත්කමත් එකතු කරගෙන නිර්මාණය කරගත්ත යෝජනාවක්. ඇත්ත වෙන්නත් ඇති. කොහොම වුනත් පොඩි උද්දච්චකමක් තියෙනවා මෙතන. නොකියා කියන්නේ මේ වගේ දෙයක්:

'මම දන්නවා, උඹ දන්නේ නැහැ. උඹ (මම වගේ) කියවනවා නම්, රටේ-ලෝකේ දේවල් ගැන හොයනවන, රටතොටේ ඇවිදිනවා නම්, ඔය වගේ ඉන්නෙත් නෑ, ඔය වගේ දේවල් කියන්නෙත් නෑ.'

ඇත්ත වෙන්නත් පුළුවන්.  ඒ වුනාට මෙතන වැඩිය නොකියවෙන කාරණයක් තියෙනවා. අසතුට. ලද දෙයින් සතුටු වෙන්නේ නැති කම.     

මේ තත්ත්වය නොයෙක් විදිහට ප්‍රකාශ වෙනවා. සුද්දා අපට කියනවා 'තොපි අසංවර්ධිතයි, අපි කියන විදිහට කරපල්ලා, එතකොට උඹලටත් අපි වගේ සංවර්ධිත වෙන්න පුළුවන්.'  සමහර පූජකයෝ මෙහෙම කියනවා: 'උඹල දන්නේ නෑ උඹල පව්කාරයෝ බව, කියන දේ අහල හැදියන්, පිං කරපන්, නැත්තම් උඹලට යන්න වෙන්නේ අපායට.' වෙළෙන්දෝ මෙහෙම කියනවා: 'මේක නියම භාණ්ඩයක්, මේ තියෙන්නේ නියම සේවාවක්; මේවා නැත්තම් ජීවත් වෙලා වැඩක් නෑ.'

සුද්දගේ කතාවම ඇති මේක තේරුම් ගන්න. අප වෙත මොඩලයක් ඉදිරිපත් කෙරුව සුද්දා: 'අපි' නොහොත් 'බටහිර' නොහොත් 'ධනවාදය'. ක්‍රියාදාමයකුත් දුන්නා: ආර්ථික වර්ධනය පදනම් කරගත් සංවර්ධනයක්. මේ සියලු දේ සාධාරණය කරන්න මෙහෙමත් කිව්වා: 'විද්‍යාව මෙයයි'. බටහිර රටවල් සංවර්ධනය වුනේ කොහොමද කියල කිව්වෙත් නෑ, ඒ ගැන විමසන්න ඉඩ දුන්නෙත් නෑ. ඒ සංවර්ධනයේ තිරසාර පැවැත්ම සඳහා කරන දේවල් 'සංවර්ධනය ට' සහ 'පැවැත්මට' අදාළයි කියල කියන්නෙත් නෑ; කියන්නේ 'සාමය' 'සහජීවනය' 'ප්‍රජාතන්ත්‍රවාදය' 'මානව හිමිකම් ආරක්ෂා කිරීම' වගේ කතන්දර විතරයි. ඒ එක්කම අර ලිං මැඩියන් ගේ කතාවත් මාකට් කෙරුව. අනේ ඉතින් ගෙම්බෝ වෙන්න අකමැති අපේ උන්දැලා ඒ කතන්දර හොඳට වැළඳුවා. 

මැඩියා ඇත්තටම ලිඳෙන් එලියට ඇවිත් දේශගවෙෂණයේ යෙදෙන්න ට්‍රයි කෙරුවනම් 'ශිෂ්ටාචාරයේ' කුරිරු රෝද වලට ක්ෂණයකින් යටවෙලා චප්ප වෙලා මැරිලා යනවා. ඒ කාලේ ලිඳේ වතුර තිබුන. වතුර පිරිසිදුයි.  පිපාසය සංසිඳවගන්න හැකිවුණා.  අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කෙරුව, අරපරිස්සම ගැන හිතල.

ඒත් අපි ඥාණය හොයාගෙන ගියා. ලිඳෙන් එලියට ආවහම අපි තවදුරටත් ලිං මැඩියෝ නෙවෙයි කියල හිතා ගත්තා. මැඩි පෙනුම වහගන්න ටයි කෝට් ඇඳගත්ත. භාෂාවෙන් මැඩිකම අහුවෙයි කියල ඉංග්‍රීසි ඉගෙනගත්ත. සද්භාවයෙන් ම, වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් ලිං වලට වස විස එකතු කෙරුව. අප වගේ එඩිතර නැති, මොලේ නැති ඥාතීන් ට 'අඩෝ ලිං මැඩියෝ!' කියල විහිළු කෙරුව.

ඇත්තටම සමස්ථ ලෝක දැනුම විශ්වයක් තරම් වන සමස්ථ නොදැනුවත්කමට සාපේක්ෂව වැලි කටකක් තරම් කුඩායි.  ඉතින් අපි එක ළිඳකින් තවත් ලිඳකට පනිනවා. සීමා පෙනෙන්නේ නැති නිසා, සමහර ලිං 'ලිඳක' ස්වරූපය ගන්නේ නැති නිසා, 'දැන් අපි ලිං වලින් නිදහස්, අපි තව දුරටත් ලිං මැඩියෝ නෙවෙයි!' කියල සතුටු වෙනවා.

සතුට හොඳ දෙයක්. ලිඳක් තුල සතුට ලබන කෙනාගේ සතුට අපේ අසතුට ට හේතුවක් කරගන්න අවශ්‍ය නැහැ කියලයි මටනම් හිතෙන්නේ. 

මෙහෙම දෙයක් අහල තියෙනව: 'ලෝකේ වටේ ඇවිද්දත් සත්‍ය සොයාගෙන අවසානයේ තේරුම් ගන්නේ සත්‍ය හොයන්න ඔය ලෝකේ වටේ අවිදින්නම අවශ්‍ය නැහැ කියන එකයි.'  අන්තිමට ඔය හැම තැනක් ම 'ලිඳක්' කියල හිතෙනවා. ප්‍රමාණයයි, ස්වරූපයි විතරයි වෙනස්. 

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  
Reactions:

0 comments: