16 May 2018

සතුරාගේ ධම්මපදයත් කියවමු



දිනය 1993 මැයි 2 දා. ස්ථානය තංගල්ල-මාතර පාරේ තංගල්ල නගරයට ආසන්නව.  ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණුකිරීමේ ආයතනයේ නිලධාරීන් පිරිසක් කිරිඳි ඔය ව්‍යාපෘතියට අදාළ වැඩසටහනකට සහභාගී වී නැවත කොළඹ බලා ගමන් කරමින් සිටියේ ඒ කාලේ රාජ්‍ය ආයතන වල බහුලව පාවිච්චි කළ කොළ පාට පැජරෝ රථයකයි.

මැයි පළවෙනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසුව රට පුරා යම් නොසන්සුන්තාවයක් පැවතිනි.  තැනින් තැන සුදු කොඩි වැල් එල්ලා තිබිණ. 

වාහන තදබදයක් හේතුවන් ජීප් රථය හෙමින් ඉදිරියට ගමන් කළේ තරමක් හෙමීට ය.  කොඩිවැල් එල්ලමින් සිටි අයෙක් ජීප් රථය දැක මෙසේ පැවසුවේය: 'ආණ්ඩුවේ වාහනයක් නේද? අඩුම තරීම් කොළපාට කොඩියක්වත් ගහගෙන යන්නේ නැත්තේ ඇයි?'

ඒ මනුස්සයා තමන්ගේ වේදනාව ප්‍රකාශ කළේ එසේය. එවන් වේදනාවන් වලට සංවේදී නොවුනා නොවේ. ඊට වඩා කාරණේ දේශපාලනය වැදගත් යැයි සිතු නිසා මේ ආකාරයට පිළිතුරක් දුන්නෙමි: 'රාජ්‍යය කියන්නේ එකක්, පක්ෂය කියන්නේ තව එකක්.'

තේරුනා ද දන්නේ නෑ. නොතෙරුනාද දන්නෙත් නෑ. වාහනය ඉදිරියට ගිය බැවින් මේවා හරියට නිශ්චය කරන්න පුළුවන් වුනෙත් නෑ. 

පාඩම මෙයයි: රාජ්‍යය, රජය සහ රජයට අදාළ පක්ෂය යන තුන නිතරම පටලවගන්න රටක් මෙය; ඇතැම් විට එසේ පටලවගන්නේ නොදැනුවත්කම නිසා. ඇතැම්විට දන දැනත් පටලවගන්නවා පහසුවට. වාසියට.  දීනකමට.

එබැවින් රාජ්‍ය ආයතන රජයේ ආයතන ලෙසත්, පක්ෂයේ දේපල ලෙසත් දකින්න පෙළඹෙනවා.  ජාජ්‍ය දෙපලත් එහෙමයි, රාජ්‍ය මාධ්‍යයත් එහෙමයි.  ආණ්ඩුවේ පාට කුමක් වුවත් ජනතා බදු මුදලින් නඩත්තු වන බොහෝ ආයතන සහ විශේෂයෙන් මාධ්‍ය ආයතන ඒ ඒ පාටින් සරසනවා. ඒ සැරසිල්ල සාමාන්‍ය දෙයක් හැටියට හැමෝම දකිනවා. 

මේ තත්ත්වය වෙනස් විය යුතුයි නමුත් වෙනස් කරන පාටක් නැත.  තත්ත්වය එසේ තිබියදී රාජ්‍යය මාධ්‍යය කියවිය යුත්තේ කෙසේද?

භීෂණ සාමය වෙත යමු.  ඒ කාලේ තරම් මර්ධනයක් මේ රටේ ඊට පෙරත් පසුවත් නැති බව පිලිනොගන්නවා නම් ඒ ඉතිහාසය නොදන්නා නිසා නැත්තම් ඉතිහාසයේ තමන්ට අවාසි දේවල් හිතා මතා මකා දමන නිසා.  වාරණය වගේම ස්වයං වාරණයත් රජ කළ යුගයක් එය. 

එම වකවානුවේ පුද්ගලික රේඩියෝ සහ රූපවාහිනී නාලිකා තිබුනේ නැත. පත්තර තිබුනත් ආත්ම ආරක්ෂාව ගැන සිතා බොහෝ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ආණ්ඩුව විවේචනය කිරීමට මැලි විය. කියවන්න පත්තරයක් නොතිබුන තත්ත්වයක් තුල සැබෑ තතු දැනගන්න හොඳම විදිහ වුනේ 'ආණ්ඩුවේ' පත්තර කියවීමයි. 

පත්තර නොකියෙව්වත් හැමෝම දන්නා දේ එම පත්තර වල ප්‍රකාශ නොවුන තත්ත්වයක් තුල ආණ්ඩුව හංගන්න හදන්නේ කුමක්ද යන්න පැහැදිලි විය.  සිද්ද නොවුණු බව හැමෝම දැනගෙන සිටියත් සිද්ද වූ යේ යැයි ලොකු අකුරින් ඒ පත්තර වල සඳහන් වෙනකොට ආණ්ඩුව අඳින චිත්‍රයේ ස්වභාවයත්, ආණ්ඩුවේ අභිලාෂයත්, ආණ්ඩුවේ බයත් හොඳහැටි දැනගන්න පුළුවන් විය. 

ඒත් මේ භීෂණයේ අතුරු කතාවක්වත්, රාජ්‍ය මාධ්‍යයේ අඩුපාඩු ගැන කතාවක්වත්, රාජ්‍යය, රජය සහ පක්ෂය පටලවාගනීමේ සංස්කෘතිය පිලිබඳ කතාවක්වත් නොවේ. මේ වනාහි අප 'සතුරා' යැයි සිතන පාර්ශවයාගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමේ වැදගත්කමත්, තේරුම්ගැනීමේ ක්‍රමවේදයක් ගැනත් කියවෙන පුංචි සටහනක් පමණි.

ඕනෑම දේශපාලන මැදිහත්වීමකදී අභියෝග ජයග්‍රහණය කල යුතු වේ.  සතුරු බලවේග සමග ගැටෙන්නට සිදුවේ.  මෙතනදී සතුරාගේ මතුපිට ට වඩා සතුරාගේ අභ්‍යන්තරයේ ස්වභාවය දැනගැනීම වැදගත් වේ. මන්ද සතුරාගේ ක්‍රියාකාරිත්වය තීන්දු කරන්නේ සතුරාගේ අභ්‍යන්තරය හේතුවෙනි.  එම අභ්‍යන්තරය සමන්විත වන්නේ සතුරාගේ අරමුණ, දැක්ම, කියවීම වැන්නෙනි.   ප්‍රතිවාදී සොල්දාදුවා සමග සටන් කල යුතුවේ, එනමුත් සොල්දාදුවා මෙහෙයවන බමුණා ගේ මනස තේරුම් ගතහොත් සොල්දාදුවාගෙන් බලාපොරොත්තු විය හැක්කේ කෙබඳු හැසිරීමද යන්න කලින්ම පැහැදිලි වේ. 

බමුණා යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයෙක්ම නොවේ; සතුරා ගේ මතවාදය, සතුරාගේ මතවාදයේ දේශපාලනික සහ දාර්ශනික පදනම සහ එබැවින්ම සතුරා කියවන පොත පත යනාදියයි. කොටින්ම (පුළුල් අර්ථයෙන්) සතුරාගේ ධම්මපදය, බයිබලය, කොරානය, දාස් කපිටාලය ගැන ගැඹුරු අවබෝධයක් ඇත්නම් සතුරාගේ ක්‍රියාකාරිත්වය අනුමාන කිරීමේ හැකියාව ප්‍රගුණ කර ගත හැකිවේ. 

අවසානයේ (ඇතැම් විට) සතුරා සැබවින්ම සතුරෙක් ද යන ප්‍රශ්නය තමන්ගේම අසන තත්ත්වයක් ඇතිවිය හැක.  සැබෑ සතුරා සිටින්නේ වෙන තැනක බව තීන්දු කිරීමට පෙළඹෙන්නට ද පිළිවන.  ඒ කෙසේ වෙතත්, සතුරු බලවේග මෙහෙයවන බමුණන් කවුරුන්ද යන්න අවබෝධ කර ගත යුතු වේ. බමුණා විශ්වාස කරන දහම, ඒ දහම යෝජනා කරන ක්‍රමවේදයන් අප්‍රමාදව දන ගැනීම සංග්‍රාමයේ දී වාසිසහගත වේ. 

සතුරාගේ බයිබලය හෝ ධම්මපදය හෝ කොරානය හෝ දාස් කපිටාලය කියවන විට අපට තේරුම් ගත හැකි වන වැදගත් දෙයක් නම් සතුරා අපව කියවන්නේ කෙසේද යන්නයි.  සතුරා අපගෙන් බලාපොරොත්තුවන ප්‍රතිචාරය ගැන ද එවිට  ගැනීමට හැකි වනු ඇත.  අපගේ ක්‍රියාකාරිත්වය ඒ අනුව වඩා වැඩදායි ආකාරයකට සකස් කළ හැකි වනු ඇත. 

මර්ධනය මොන තරම් දරුණු වුවත් මර්ධකයා අපට කියවන්න බොහෝ දේ සපයන බව තේරුම් ගත යුතුයි.  කියවීම අප සතු දෙයකි.  බොහෝ විට කියවන්නේ අපට හුරු අප ප්‍රියකරන කතාන්දරය.  අනිවාර්ය දෙයක් වුවත් ප්‍රමාණවත් නොවේ. එය කුමන නමකින් හැඳින්වුවත් සතුරාගේ ධම්මපදයත් කියවිය යුතුය.

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  
Reactions:

0 comments: