25 March 2018

රනිල් ගේ බයිසිකල්-බෙන්ස් කතාව නම් මරු

කොළඹ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුන අලුත් මන්ත්‍රීවරුන් අමතමින් අගමැති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ අපූරු කතාවක් කියල තියෙනවා. අලුත් මැම්බර් මහත්වරු සහ නෝනාවරු සතු වගකීම් පැහැදිලි කරලා පවතින දේශපාලන සංස්කෘතිය මේ විදිහට රනිල් විස්තර කරනවා: 

"දුගියෝ හැටියට දේශපාලනයට ඇවිත් සුර සැප විඳින දෙස්පාලාඥයින් වෙන්න එපා. සමහර අය දේශපාලනයට එනකොට එයාලට තියෙන්නේ පුෂ් සයිකලයක් විතරයි, ඒත් පස්සේ එයාල බෙන්ස් කාර්වල අයිතිකාරයින් වෙනවා. ඒ වගේ වෙන්න එපා."

කතාව ඇත්ත. කෙසඟ සිරුරු ඇති ආධුනික මන්ත්‍රීවරු කල් යත්ම බඩ තඩි 'පරිනත' දෙස්පාලාඥයින් වෙන ඇත්ත කතාව කොලට්, විජේසෝම, යූනුස් සිට කැමිලස්, අසංග ගිහාන් ද චිකේරා සහ අවන්ත ආටිගල දක්වා විවිධ කාටූන් ශිල්පීන් චිත්‍රණය කරලා තියෙනවා.  ඒ කියන්නේ මේක අලුත් නැහැ. සමහරුන්ගේ බඩවල් ලොකු වෙනවා. සමහරුන්ගේ බැංකු ගිණුම් ලොකු වෙනවා. සමහර ලොකුවීම් පෙනෙනවා, සමහර ඒවා පෙනෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන.

පළාත් පාලන ආයතන වල නවක මන්ත්‍රීවරුන්ට 'ඔයාලා හොරකම් කරන්න එපා හොඳේ' කියන එක පහසු වැඩක්.  එහෙම කිව්වා කියල, කියපු ඒවා ඇහුව කියල හොරකම් නතර වෙන්නේ නැහැ. 

හොරකම් මැරකම් තක්කඩිකම් නවත්තන හැටි රනිල් දන්නේ නැතුව ඇති. එහෙම නැත්තම් එයාට අවශ්‍ය නැතුව ඇති ඕව නවත්තන්න.  කොහොම වුනත් බයිසිකල්-බෙන්ස් තියරිය ගෙනාව කෙනා හැටියට රනිල් ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.

වර්තමාන පාර්ලිමේන්තුවේත්, පළාත් සභා වලත්, පළාත් පාලන ආයතන වලත් ඉන්න අය මුලින්ම දේශපාලනයට එනකොට වාහනයක් තුබුනද, තිබුනානම් බයිසිකලයක් ද, යතුරු පැදියක් ද, කාර් එකක් ද, මොකද්ද?  රනිල් ට පුළුවන් මේවා හොයල බලන්න.  ඊට පස්සේ හොයන්න තියෙන්නේ මේ හැමදෙනාම අද පාවිච්චි කරන වාහනේ මොකද්ද කියල.   

මෛත්‍රිපාල සිරිසේන දේශපාලනය ට එද්දී වාහනයක් තිබුනද? මුල්ම වාහනේ මොකද්ද? දැන් තියෙන්නේ මොකද්ද?

'වාහනය' කියනකොට පුෂ් බයිසිකල්, බෙන්ස් ම නෙවෙයි. ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවා. නිවස, බැංකු ගිණුමේ තිබුන/තියෙන මුදල් ප්‍රමාණය, වත්කම්-බැරකම් යනාදියත් හොයන්න වෙනවා.  ඒ වුනාට සරලම තැනින් පටන් ගමු. වාහනය.  

ජනාධිපති තුමාගේ වාහන. අගමැති ගේ වාහන. පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ වාහන. මුල් වාහනය. දැන් තියෙන වාහනය හෝ වාහන.  කරනවා නම් ඔන්න වැඩක්, රනිල් මහත්තයෝ.  පළාත් පාලන ආයතන වලට පත්වුන නවක මන්ත්‍රීලා දුන්න අඩ්වයිස් එකට ඒ දත්ත ටිකත් එකතු කරන්න පුළුවන්. එතකොට එයාල විතරක් නෙවෙයි පොදුවේ හැමෝමත් බොහෝ දේවල් ඉගෙන ගනියි. 

කියවන්න:
  
බළල් කුණට පින් සිද්ද වෙච්චාවේ!
ටක්-ටික්-ටුක්....වම්-දක්-වම්!
බිව්වේ නෑ....ටිකක් පෙවුනා!
පොහොට්ටු නම් පිපෙයි ජනතාව නම් හැකිලෙයි
මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම
    


  
     

0 comments: