10 October 2019

රාජාවරණය අභියස

'රාජාවරණය'. මගේ වචනයක් නෙවෙයි. මෙත්පල් නරිඳු, විකුම්සිහ, සච්චප්‍රේම, ගොටුඅභය ආදිය වෙසෙන 'සතරැස් නුවර' දේශපාලනය විශ්ලේෂණය කරන සුසන්ත බණ්ඩාර තමයි එහෙම කියන්න පුළුවන් කියල මුලින්ම මට පෙන්නලා දුන්නේ. 

සුසන්ත හරි.  නුවර සතරැස් තමයි. ඉදිරියට තියෙන්නේ රාජාවරණයක් තමයි. අපි වැඩවසම් බ්‍රෝ. 

අපි විතරක් නෙවෙයි. මුළු ලෝකෙම වැඩවසම්. මට එහෙම හිතෙනවා.  නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියල කිව්වට එහෙම දෙයක් නැහැ. 'ජනතා කැමැත්ත' කියල කිව්වට තෝරන්න වෙන්නේ හොරෙක්, තක්කඩියෙක්, මිනීමරුවෙක් නැත්තම් ඒ වගේ අයට අවනත වන කෙනෙක්.  රටක් කිව්වට රටක් නෙවෙයි. 'රාජ්‍යයක්'.  ඒ කියන්නේ ධනේශ්වරයට සුබසාදනය සලස්වන, එයාලගේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වෙන සිස්ටම් එකක්. ඒක කළමනාකරණය සඳහා පත් කරන කෙනාට ජනාධිපති කිව්වට, ඇත්තටම එයා රජෙක්. නැත්තම් රැජිනක්.

මේක ලංකාවට සුවිශේෂ වුන දෙයක් නෙවෙයි. ඇමරිකාවෙත් එහෙමයි. අවුරුදු හතරෙන් හතරට 'ප්‍රජාතන්ත්‍රවාදී' ක්‍රියාවලියකින් අනතුරුව රජෙක් පත්කරනවා. ජිමී කාටර්, රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ් (තාත්තා), බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ් (පුතා), බැරැක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප්...රජවරු. බිල් ගේට්ස් -- රජෙක්. ස්ටීව් ජොබ්ස් -- රජෙක්. බන්දුල වර්ණපුර, දුලිප් මෙන්දිස්, ඩී.අස් ද සිල්වා, මඩුගල්ල, අර්ජුන, මහානාම, ජයසුරිය, මාවන්, මහේල, සංගා, ඩිල්ශාන්, මැතිව්, චන්දිමාල්, මාලිංග, දිමුත්, ලක්මාල්, දසුන් -- රජවරු. මුරලිත් රජෙක්. ඉස්කෝලේ ප්‍රින්සිපල් රජෙක් නැත්තම් රැජිනක්. අම්ම රැජිනක්, තාත්තා රජෙක්.   

ජේ.ආර්., ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග (ටික කලකට), මහින්ද, මෛත්‍රිපාල -- රජවරු. චන්ද්‍රිකා -- රැජිනක්. ගෝඨාභය, සජිත්, අනුර කුමාර, නාගමුව, පල්ලෙවත්ත, මහේෂ් සේනානායක, සිවාජිලිංගම, හිස්බුල්ලා සහ වෙනත් අය -- රජවෙන්නයි බලාගෙන ඉන්නේ.     

ඉතුරු අය? සොක්කෝ. එහෙම කිව්වහම හරි. අපි...ඔක්කොම පොඩ්ඩෝ...ඔක්කොම සොක්කෝ...තුන් සිංහලයම දාසයෝ....

නෑ නෑ....මිනිස්සු!  පුරවැසියෝ! එහෙමද හිතෙන්නේ? එහෙමද හිතාගෙන ඉන්නේ?

අපට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැරසිලි. හරය අයිති රජුට. රජවරුන්ට. ඒ ඒ යුග වල රට පාලනය කරන රජ පවුල් වලට. හරය උන්ගේ. රටත් උන්ගේ.

ක්‍රීඩා ඇමති රජෙක්. එයාට ඉන්නවා ඇමතිවරු, පුරෝහිතයෝ, කවටයෝ. සෞඛ්‍ය ඇමැතිටත් එහෙමයි. මෙගාපොලිස් ඇමැතිටත් එහෙමයි. අඛිලත් එහෙමයි.

එජාපයේ නායකයත් එහෙමයි. රජෙක්. එයාගේ රාජධානියේ වැඩ සිද්ද වෙන්නේ එයාට ඕන විදිහට. 'ඔන්න ඔය රේස් එක දුවපන්' කියල අස්සයෙක් දානවා. හැමෝම හුරේ දානවා. රේස් එක දින්නත් පැරදුනත් සිරිකොතේ රජු රජුමයි. සුභ සහ යස කියන්නේ කලාතුරකින් පෙන්නන නාට්‍යයක් නේ. දොරටුපාලයා රජ වෙන්න තියෙන අවස්ථා අඩුයි. වැඩිපුර වෙන්නේ දොරටුපාලයාගේ හිස ගසා දැමෙන එක තමයි.

මහින්ද රජෙක්. ගෝඨාභය රජ වෙයිද, රජ වුනොත් මහින්දට ලැබෙන්නේ දොරටුපාලකමද, ගෝඨාභය රජ වුනත් කරන්නේ දොරටුපාල වැඩේද? මේවා අපට දැකබලාගන්න වෙන්නේ ඉදිරියට.

අනුර කුමාර දිසානායක රජෙක්.  ඒ බව හොඳින්ම දන්නේ 2015 අගෝස්තු මැතිවරණයට ජවිපෙ දාපු ජාතික ලැයිස්තුවේ 'සුපිරි පුරවැසියන්' තමයි. දීප්ති කුමාර ගුණරත්නත් රජෙක් -- එක්ස් කියන රාජධානියේ. පොඩි පොඩි රාජධානි තියෙන බව අමතක කරන්න හොඳ නෑ. 'අරුණ' පත්තරේ මහින්ද ඉලේපෙරුමත් රජෙක්. දිලිත් ජයවීරත් රජෙක්.  වෘත්තීය සමිති නායකයත් රජෙක්.

මාක්ස් රජෙක්. ලෙනින් රජෙක්. ස්ටාලින්, මලෙන්කොෆ් (මාස හයකට), කෘෂ්චෙෆ්, බ්‍රෙශ්නෙව්, අන්ද්‍රපෝව්, චර්නෙන්කෝ, ගොර්බචෙව් -- රජවරු. කස්ත්‍රෝ, හෝ චී මින්, මාඕ සේතුං, මොරිස් බිෂප්, දනියෙල් ඔටේගා -- රජවරු. හතරවන ජාත්‍යන්තරය කියන්නේ රජකම ස්ථාපිත කරගන්න බැරුව රට දෙකට තුනට කඩල පොඩි පොඩි රටවල එක එකා රජවුන ඉතිහාස කතාවක්. 

කාලෙන් කාලෙට එක එක භූමි වල රජකම් කරන අය වෙනස් වෙනවා. සමහරු ටික කාලයයි ඉන්නේ (ඩී.බී. විජේතුංග වගේ). සමහරු දශක ගණන් ඉන්නවා (සිරිකොත රාජධානියේ රජු රනිල් වගේ). රජවරු එනවා යනවා, ඒත් හැමතිස්සෙම රජෙක් ඉන්නවා.     

ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ රජාවරණයකට. අපේ, අප සඳහා, අප සමග, අප විසින් යනාදියෙන් හඳුන්වා දුන්නත්, හඳුනාගත්තත්, අපි පත් කරන්නේ රජෙක්.

කවදා හරි මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. දැනට නම් එහෙමයි. අපි වැඩවසම් බ්‍රෝ. ලෝකෙම වැඩවසම්. 
      

'අරුණ' පුවත්පතට ලියූ වෙනත් ලිපි 





Reactions:

0 comments: