31 May 2018

ෂෝට් ඇන්ඩ් ස්වීට් අහිංසකත්වය

මගුල් ගෙවල් ඉවර වෙන්නේ මංගල සභාවේ කතා වලින්.  ඊට් පස්සේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට වැඳලා මංගල යුවල පිටත් වෙනවා මධුසමය ගත කරන්න. දැන් කාලේ එහෙමයි. 

මේ ලියන්නේ මීට වසර 26කට පෙර වුණ සිද්ධියක් ගැන.  විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගේ අක්කගේ මංගල උත්සවය පැවැත්වුණේ ගම්පොල සිංහපිටියේ එයාලගේ ගෙදර.  ඒ ගෙදර අපි කාටත් හුරුයි. විශ්වවිද්‍යාලය වැහුනත් නැතත් අපේ මිතුරන් නිතර යන එන තැනක්. මිතුරාගේ දෙමාපියන් අපට සැලකුවේ දරුවන්ට වගේ. මිතුරාගේ සොහොයුරන් සොහොයුරියන් ට අපි සහෝදරයෝ වුනා. එදත් අදත්. 

මංගල උත්සවයේ සියලු දේ ලස්සනට වුණා.  හැමෝම හොඳට විනෝද වුණා.  මංගල සභාව පටන් ගත්තා. මනමාල පාර්ශවය වෙනුවෙන් කතාව යද්දී මනමාලි ගේ පැත්තෙන් කතාවක් සූදානම් කරලා නැති බව එක පාරටම හැමෝටම මතක් වුනා. මනමාලිගේ අක්කගේ මහත්තයා සහකාර පොලීස් අධිකාරිවරයෙක්. උපාධිධාරියෙක්. 

'අනේ මට නම් ඕක කරන්න බෑ,' අමරකෝන් අයියා අසරණ විදිහට කිව්වා. 

වෙන කව්රුවත් ඉදිරිපත් වුනෙත් නෑ. කියන්න කෙනෙක් හිටියෙත් නෑ. මනමාල පාර්ශවයේ කතාව දිගයි. මනමාලයාගේ ගුණවන්තකම් කියල නිම කරන්න බැරි තරම්.  ඇත්තටම ඔහු ඉතා හොඳ කෙනෙක්.  ගතවුණු වසර 26 තුල ඒ කතාවේ කිසිම අතිශෝක්තියක් නැති බව හැමෝම තේරුම් ගන්න ඇති.  

කතාව අවසන් වුනා. 

මංගල සභාව මෙහෙය වූ කෙනා මෙහෙම කිව්වා: 'දැන් මනමාලිගේ පාර්ශවය වෙනුවෙන් කතාවටයි අවස්ථාව.'

මොහොතක් ගත වුනා. කල්පයක් වගේ. කව්රුවත් මොනවත් කිව්වේ නෑ. මිතුරාත්, මිතුරාගේ මිතුරු කැලත් ඉතා අපහසුවෙන් එකිනෙකා දිහා බලා ගෙන හිටියේ. 

ජාතික ඇඳුමක් ඇඳගත් වයසක කෙනෙක්  මංගල සභාව මැදට ආවා. මනමාලිගේ පියා.  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය සරප්වරයෙක්. සංගීත ගුරුවරයෙක්. 'චතුරද්වනිය' ලෙස නම් කරන ලද සංගීත භාණ්ඩයක් නිර්මාණය කල ඔහුට කලාභූෂණ සම්මානයද ඒ වන විට පිරිනමා තිබිණ.


අන්කල් සාමාන්‍යයෙන් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි.  කතා කරන්නෙත් හෙමින්. වචන කිරල මැනලා වගේ.  කතා කරන්න පටන් ගන්නකොට මොනවා කියන්න ද යන්නේ කියල හිතාගන්න අමාරුයි.  මනමාලයාගේ ගුණයහපත්කම ගැන දිග කතාවකට පසුව මනමාලි ගැන දිගට කියන්න නුසුදුසුම කෙනා අන්කල් කියලයි මට හිතුනේ. ඒ වුනාට ඉතින් වෙන කව්රුවත් ඉදිරිපත් නොවුන එකේ අන්කල් ඉදිරිපත් වුන එක ලොකු දෙයක් කියලත් හිතුනා. 

'අහිංසකත්වයේ සංකේතය, අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය, මේ හාවා කියන සතා. ඒ හාවටත් වඩා අහිංසකයි මගේ මේ දියණිය.'

එච්චරයි. මොහොතක් ගත වුනා. කල්පයක් වගේ.  ජීවිතය ගැනත්, පියෙකුගේ සෙනෙහස ගැනත්, අරපරිස්සම ගැනත්, බොහෝ දේ කියවුනා. හිතන්න වුනා. 

ලොකු දේවල් කියන්න වචන දහස් ගණනක් අවශ්‍යම නැහැ.  ලොකු වචන තුල, දිග කතා තුල සියුම්ම දේවල් සැඟවිලා යනවා. සමහර අවස්ථා වල වචන අවශ්‍යත් නැහැ.  එක බැල්මකින් සිනහවකින් බොහෝ දේවල් කියන්න පුළුවන්. වචන වලට පෙරලන්න බැරි අදහස් එහෙම ප්‍රකාශ කරන්නත් පුළුවන්.  

මංගල සභාව මොහොතකට නිහඬ වුනේ මේ වගේ දේවල් කට්ටියට කල්පනා වුන නිසා ද කියල හරියටම කියන්න බැහැ. ඒත් ගතවුණු වසර 26 තුල සහභාගී වුන හැම මංගල උත්සවයකදී ම අන්කල්ගේ පුංචි කතාව මතක් වුනා. ඒ එක්කම ඒ මොහොතේ කල්පනා වුන දේවල් නැවත මතක් වුනා.  

වචන 3000කින් කියන දේ වචන 800කින් වුනත් කියන්න පුළුවන් නේද කියල ප්‍රායෝගිකව ඉගෙන ගත්තේ පත්තර රස්සාව කරන්න පටන් ගෙන වසර ගණනකට පසුවයි.  වචන 800කින් කියන දේ වචන 500කින් නැත්තම් 300කින් වුනත් කියන්න පුළුවන් කියල දැන් අවබෝධ කරගෙනයි ඉන්නේ.  එත් මනමාලියක් ගැන, ඇයගේ ගුණයහපත්කම ගැන වචන 15කින් කියන්න කිව්වොත් අන්කල්ගේ කතාව ට අහලකින් තියන්න පුළුවන් කතාවක් කරන්න බැරි බවත් දන්නවා.  

ඉතාම අහිංසක ජීවිතයක් ගත කරලා 2001 වසරේ අන්කල් ජීවිතයෙන්  සමුගත්තා.  වැඩිය කතා කල කෙනෙක් නොවුනත්, කියපු දේවල් තාම මතකයි.  ඒ හැම දෙයක් අතරින් වටිනාම දේ මේ පුංචි කතාව තුල තිබුනා, ඒ හරහා කියවුනා.  

මගේ දුවලා කසාද බඳින දවසක් උදාවුණොත්, එදාට මම ජීවතුන් අතර හිටියොත්, මංගල සභාවක් අමතන්න සිදුවුණොත්, ඒ වගේ කතාවක් කරන්න මට බැරි වන බව පැහැදිලියි.  කිසිම දෙයක් නොකියා ඉන්න වෙයි.  සමහර විට ජීවිතයේ 'කියන' හොඳම කතාව ඒ නිහඬ බවම වෙයි.  අන්කල් ට පින්සිද්ද වෙන්න මට කිසිම ලැජ්ජාවක් දැනෙන එකක් නැහැ. 

අහිංසකකම හැමවිටම ෂෝට් ඇන්ඩ් ස්වීට්.  ස්වීට්ම දේවල වලට වචන අවශ්‍ය නෑ.  

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

       
Reactions:

0 comments: