18 May 2018

හිරවෙන හිරකරන වචන ගැන



එඩුවාඩෝ ගලියානෝ කියන්නේ උරගුවායි රටේ හිටපු විශිෂ්ට ලේඛකයෙක්. ලතින් ඇමරිකාවේ අතීතය සහ වර්තමානය වගේම සමස්ථ දේශපාලන ආර්ථිකය ගැන විතරක් නෙවෙයි ගලියානෝ ලිව්වේ.  ජීවිතයේ විවිධ දේ ගැන ද, මිනිස් සම්බඳතා ගැනද, මනුස්සකම ගැනද, ආදරය ගැනද ලියන්න අපූරු හැකියාවක් ගලියානෝට තිබුනා.

'නිදාගන්න විදිහක් නැහැ, ඇසිපිය අතර ගැහැණියක් සිරව ඇත; ඇයට යන්න කියන්නත් බැහැ, උගුරේ ගැහැණියක් සිරව ඇති බැවින්.' 

ආදරය ඒ වගේ දෙයක්.  ඒත් ප්‍රේමවන්තයින්ගේ ඇසිපිය අතරෙත් උගුරෙත් සිරවෙන්නේ ගැහැණු විතරක් නෙවෙයි.  වචනත් සිර වෙනවා. සමහර අය ලියන්නේ ඒ නිසා වෙන්න ඕන.  

මීට වසර 10කට පමණ පෙර නවකතාවක් ලියන්න පටන්ගත්තත් ලියවුනේ පිටු දෙකයි.  'නවකතාවක් ලියන්නකෝ' කියල එක්තරා යුවතියක් කළ ඉල්ලීමකට පිළිතුරු දුන්නේ එලෙසයි.  'ඒ පිටු දෙක කියවන්න ආසයි.' ඉතින් ඒ පිටුදෙක කියවන්න දුන්නා ඇයට. කියවලා මෙසේ පැවසුවා: 'ඒ කතාව ලියන්න එපා. දුක වැඩියි.' 

'මේ ලෝකේ සතුට විතරක්ම දනවන කතා තියෙනවද?  ආදරයේ ආනන්දයම ඉල්ලන්නේ මොහොතින් මොහොත වැඩිවන දෙයක් හැටියට තේරුම් ගන්න නිසාද? එහෙම නැත්තම් (අඩුම තරමින්) අඩු නොවන දෙයක් හැටියට.  අසතුටම නෙවෙයි අප සමග රැඳෙන්නේ, ඒත් සතුට හරියට විටින් විට එන යන මිතුරෙක් වගෙයි.  ආනන්දය ඊටත් වඩා විරලයි.  ආශ්චර්යජනකයි කියල හඳුන්වන දේවල් වලට පෙරක්, පසුවක් තියෙනවා. ඒ 'පෙර-පසු' කාල පරාසයන් සුන්දරම නෑ. එහෙම නේද?'

 'ඒ වුනාට!' අත්තම්මගේ තර්කයයි ඇය ඉදිරිපත් කලේ. 

'සුරංගනා කතාවක් ද ඉල්ලන්නේ එහෙනම්?'

'නෑ. සුරංගනා කතාවක් හරියන්නෙත් නෑ. ඉතිං කියන්නකෝ...මේ කතාව ගැන.'

'කතාව ලියන්න ද එපාද?'

'ලියන්න එපා. මට දැනගන්න ඕන ඒ වගේ කතාවක් ලියන්න හිතුනේ ඇයි කියල.'

'ඉතින් ඒක කිව්වොත් කතාවේ සුන්දරත්වය නැති වෙනවනේ.  කවද හරි ඕක ලියල ඉවර වුනොත් ඔයා කියවන එකක් නෑ. කියෙව්වත් විඳින එකක් නෑ. දුක හිතෙන කතාවක් ද, සතුට ගෙනෙන කතාවක් ද කියල දැන්මම කියන්න බැහැනේ.  කොහොම වුනත් ලෝකේ හොඳම නවකතාව බවට පත් වුනත් ඔයාට නම් ඒක නීරස වේවි.  දුක හිතෙන කතාවක් වුනත් ඔයාව හඬවන්න සමත් වන එකක් නෑ. ඒවගේ දේවල් වැදගත්, නැද්ද?'    

'ඔය දේවල් මට අදාළ නෑ. ඕක අතහරින්න. තව ලියන්න එපා. මම කැමති නෑ. එච්චරයි.'

'මම ලියන නොලියන සියලු දේ ගැන අවසන් විනිශ්චය ඔයා සතු ද?'

'එහෙම වෙනවනම් කැමතිද?'

'නෑ. මේ කිසි දෙයක් ප්‍රකාශයට පත් කරන්න මට නම් උවමනාවක් නෑ.'

'එහෙනම් මොන කෙහෙල්මලකට ද ලියන්නේ?'

'හරියටම කියන්න තේරෙන්නේ නෑ.  ලියන එකේ මොකද්දෝ දෙයක් තියෙනවා. හිතට වද දෙන දෙයක් ගැන මොනතරම් හිතුවත් විසඳගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒත් ලියද්දි දේවල් ලෙහෙනවා.  ඒ කාරණය ගැනම ලියන්න ඕනේ නෑ. මොනවා ලිව්වත් අර හිතට වද දුන්න කාරණය කොහොම හරි සමනය වෙනවා. ලියද්දී උගුර පෑදෙනවා.'   

'ලියද්දි උගුර පෑදෙනවා?  ඇහුවමයි එහෙම දෙයක්. කියන්න හදන්නේ හිතේ අවුල් නිරාකරණය වෙනවා කියන එක වෙන්න ඕන.'

'නෑ, කොහෙත්ම නෑ.  උගුර ගැනම තමයි කිව්වේ.  වැඩියෙන්ම දේවල් හිරවෙන්නේ උගුරේ.  විශේෂයෙන්ම වචන.' 

කතාව වෙන පැත්තකට යොමු වුනා. මම විකටයෙක් ගේ ගානට වැටුනා. ඒත් ආයෙත් ඇහුව කතාව ගැන.

'කෙටි කතාවක්.'

'ඉතින්?'

'මහා ලොකු දෙයක් නෙවෙයි. කිව්වට පස්සේ තරහ යයි ඒ වගේ පුංචි දෙයක් ගැන මෙච්චර දිග කතාවක් ඇද ගත්ත එක ගැන.'

'කියන්නකෝ රවුමේ යවන්නේ නැතුව!'

'එහෙම තමයි මම කතන්දර කියන්නේ. වටේ යනවා.  වටේ යැවෙනවා. කියවන අය එතකොට කල්පනා කරන්නේ මේ මනුස්සය මොනවාද මේ කියන්න දඟලන්නේ කියල.  ඇත්තම කතාව තමයි කියන්න මහා ලොකු දෙයක් නැති එක.  කතන්දර වල මහා ලොකු දෙයක් නෑ. ඒ කියන්නේ "මෙයා කියන්නේ මෙයයි" වගේ නිශ්චිත නිගමන වලට එන්න අමාරුයි.'

'හරි. ඉතින් ඔය වැඩකට නැති කතාව කියන්න කෝ!'

'කියන්න ඉඩ දෙන්නේ නැහැනේ!'

'කියන්න ඕනෙද නැද්ද.'

'අහපු නිසා කියන්නම්.'

'ඉතින් කියන්න!'

'ඇයි හදිස්සි කරන්නේ?'

'ඇයි අදිමදි කරන්නේ?'

'මගේ හැටියක්.  මට අවශ්‍ය වේගයටයි මම කියන්නේ. අපට අවශ්‍ය වෙලාවටම නෙවෙයි උගුර පෑදෙන්නේ.  හරි මොහොත එනකල් ඉන්න ඕන.'

'හරි මොහොත කිව්වේ?'

'මේ මොහොත නෙවෙයි.'

'ඔයා එක්ක බෑ!'

'පුළුවන් වුනානම් වඩා හොඳද?'  

එතනින් කතාව නතර වුනා. 

වචන හිර වෙන්නේ උගුරේම නෙවෙයි. හිතෙයි හදවතෙයි යටිපතුලෙයි හිරවෙන්න පුළුවන් දෙයක් තමයි මේ වචන කියන්නේ.  සමහර වචන නිදහස් කරන්න හිතෙන්නේ නෑ...අර ගලියානෝ ගේ ඇසිපිය අතර, ඔහුගේ උගුරේ හිරවුන ගැහැණිය වගේ.  සමහර අයට ඔය හිරවෙන ප්‍රශ්නේ නෑ.  එහෙ මෙහෙ පාවෙන වචන තෝරලා බේරලා ලස්සනට කැටයම් කරලා කවියක් කතාවක් බවට පෙරලන ව.  එයාලගේ වචන කියවද්දී අපේ උගුරේ වගේම හදවතෙත් හිතෙත් හිරවෙලා තියෙන බොහෝ දේවල් දියවෙලා පිටවෙලා යනවා.  අපට හුස්ම ගන්න පුළුවන් වෙනවා.  එයාල ලේඛකයෝ.  


"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

0 comments: