08 June 2018

කුදුබව සහ කුදුකම නොහොත් සාකෝසිකරණය


යුරෝපයේ පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් දහයයි.  ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාකෝසි ගේ උස අඩි පහයි අඟල් පහයි.  උස ප්‍රශ්නයක් කරගත් සාකෝසි අපූරු උපක්‍රමයක් පාවිච්චි කල බව වාර්තා වේ. තමන්ට වඩා උසින් අඩු පුද්ගලයින් කිහිප දෙනක් නිතරම තමන් අවට තබාගත් සාකෝසි ට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුණා, මන්ද එවිට සාකෝසි මිටි බව පෙනුණේ නැති නිසා.  

ඒ පුවත කියවද්දී ඩලස් අලහප්පෙරුම 2001 වසරේ කියූ දෙයක් මතක් වුණා. 2001 මහා මැතිවරණයට තරඟ නොකරන්න තීරණය කල ඩලස් මාදිවෙල ඔහුට හිමි නිල නිවසෙන් නික්ම යන්නට සුදානම් වෙමින් සිටිය මොහොතක ඔහු හමුවුයේ 'දි අයිලන්ඩ්' පුවත්පතට ඒ පිලිබඳ ඔහුගේ අදහස් දැනගෙන ලිපියක් සකස් කර ගැනීමටයි.  ඩලස් මෙහෙම දෙයක් පැවසුවා:

'මාලින්ද, අපි සුදු වැඩියි මේ දේශපාලනයේ යෙදෙන්න.  මෙතැන ඉන්නේ දුඹුරු මිනිස්සු.  එයාල කැමතිත් දුඹුරු අයට. සුදු කෙනෙක් ආව ගමන් එයාලා දුඹුරු බව පෙනෙන්න පටන් ගන්නවා.'  

ඩලස් පසුව මේ සුදු-දුඹුරු න්‍යාය බැහැර කළත්, ඩලස් ගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.  ඒ කාරණය දේශපාලනයට සීමා වුණ එකකුත් නෙවෙයි.  

පහසු සහ වාසිදායක දේ දුඹුරු වීම නම්, දුඹුරු වෙනවා. 'මම නම් එහෙම නෑ, මම වෙනස්' කියල ඒත්තුගන්නන්න අවශ්‍ය නම්, සුදු පාට තවරා ගන්නවා.  'ඇඩ්' කියල කියන්නේ එහෙම දේවල් වලට.  අඩු වහගන්න අවශ්‍යනම් එම අඩුම තියෙන අය ආශ්‍රය කරනවා.     

මෙය හරිම සරල ක්‍රමවේදයක්. තමන් අදක්ෂ නම් තමන්ට වඩා අදක්ෂ අය තමන් අවට තියාගන්නවා.  තමන් හොරෙක් නම් තමන්ට වඩා හොරකම් කරන අය ළඟ තබාගන්නවා. තමන් විකටයෙක් නම් තමන්ට වඩා විහිළුසහගත අයගෙන් පිරිවර හදා ගන්නවා.  තමන් මෝඩ නම්, ඊටත් වඩා මෝඩයින් තමන්ගේ උපදේශකයින් ලෙස පත්කරගන්නවා.  

වෙන විදිහකට කියනවා නම් මේ හැමදේකින්ම කරන්නේ හාල්කෑලි මෝරු බවට පත්කරන එක.  මෝරු හැංගිලා ඉන්න තාක් කල් මේ ක්‍රමය සාර්ථක වෙනවා. මෝරා හැංගිලා ඉන්නකොට 'මෝරු නෑ' කියල හිතන්නත් පුළුවන්, හාල් කෑලි මෝරු හැටියට අන්දන්නත් පුළුවන්.  මෝරු කියල විකුණන්නත් පුළුවන්.  ඒ වුනාට හාල් කෑල්ලකට මෝරෙක් වෙන්න බෑ. 'හාල්කෑලිකම්' කවද හරි මතුවෙනවා.  

පෞරුෂ ගැන සිතමු.  වෙම්බ්ලි ක්‍රීඩාංගනය තනියම පුරවන්න පුළුවන් තරම්  දැවැන්ත පෞරුෂ සමහර අයට තියෙනවා.  කොළඹ විශ්ව විද්‍යාලය ළඟ විකුණන කූඩාරමකට සමහර අය රිංගුවොත් කූඩාරම වෙම්බ්ලි ක්‍රීඩාංගනය තරම් විශාලයි වගේ පෙනෙනවා. පෞරුෂයන් ඒ තරම්ම කුදුයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන, තමන්ට වඩා පෞරුෂයෙන් කුඩු වූ පිරිසක් පිරිවරාගෙන පපුව ඉස්සරහට් දමාගෙන උජාරුවට ඇවිද්දත් අර 'මෝර ගතිය' ආරෝපණය වෙන්නේ නෑ. ආරෝපණය කරගත්තත් ලස්සන ඇඳුම, උජාරුව, පිරිවර කපාගෙන 'හාල්කෑලිකම්' ඉස්මතු වෙනවා.  

සාකෝසි ට කරන්න තිබුණ පහසුම දේ  සාකෝසි වීමමයි. කකුලේ තරමටයි සපත්තුව තෝරගන්න ඕන.  තරමට නොගැලපෙන සපත්තු දාගෙන ඇවිදින්න අමාරුයි.  පැටලෙනවා. වැටෙනවා.  ඊට වඩා හොඳයි සපත්තු නැතුව ඇවිදින එක.  

ඒ කෙසේ වෙතත් සාකෝසිලා මැතිවරණ ජයග්‍රහණය කරන බවත් කිව යුතුයි.  එහෙම වෙන්නේ ඇයි කියන එක ගැනත් කල්පනා කරන්න අවශ්‍යයි.  අවංකකම, දැනුම, හැකියාව, මනුස්සකම වගේ දේවල් ගත්තහම සාමාන්‍ය ජනතාවට වඩා කුදු අය යෝධයින් වෙන්නේ කොහොමද? මවා ගන්න යෝධකම් වලට ඡන්දදායකයින් ගොදුරු වෙන්නේ ඇයි? මේවා ගැනත් හිතන්න ඕන.

එහෙම වෙන්න එක හේතුවක් තමයි අපේ තරම ගැන අපටත් නිසි අවබෝධයක් නැති කම.  යෝධකම් කෙසේ වෙතත් කුදුකම් ආරෝපණය කර ගන්න කැමැත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඇති දේ ඇති සැටියෙන් දකින්න බැරි කමක් නැත්තම් දකින්න අකමැති කමක් තියෙනවා. ඇස් ඇරගෙන ඉන්න අවශ්‍යම අවස්තාවලදී අහක බලාගන්නවා නැත්තම් ඇස් වහගන්නවා. හාල්කෑලි-මෝරු සෙල්ලමට වශී වෙනවා.  මේ තත්ත්වය මොන තරම් දරුණුද කියනවා නම් සාකෝසි-ක්‍රමවේදය හරියට ඉල්ලුමට-සැපයුමක් ද කියලත් හිතෙනවා.      

වෙනත් විදිහකට කියනවා නම් 'සුදු-දුඹුරු' ප්‍රශ්ණයකින් ජනතාවත් (නැත්තම් පාරිභෝගිකයාත්) පෙළෙනවා.  

නන්දා මාලිනි ගේ 'කුමක්ද මරණය' ගීතය මතක් වෙනවා.  පෙරදිග මුතු ඇටයේ ඇට කටු මත සත්‍යයේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පුදන්න අවශ්‍යයි කියල මම හිතන්නේ නෑ. ඒත් කිරි පැණි පාගල තැඹිලි වතුර නාලා පච්චවඩම් තිර හතක් මැදින් ඇදුරන් වැඩලා අපගැන අඬලා සැප දුක් ඇසු කල අප හැම සාකෝසිලා කියලත් හිතෙනවා.    

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

0 comments: