21 June 2018

ප්‍රථම ප්‍රේමය මිහිරියි


'උඹේ ප්‍රථම ප්‍රේමය ගැන ලියපන්.' යාළුවෙක් එහෙම කිව්වේ හොඳකට නෙවෙයි. එයත් දන්න මමත් දන්න මගේ පළමු ප්‍රේමවන්තිය ගැන ලිවීමෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වෙන බව දැනගෙනයි එහෙම ඉල්ලීමක් කළේ. විශේෂයෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ මම. කොහොම වුණත් 'ප්‍රථම' කියන වචනය එක්ක පැටලෙන්න වෙනවා. පළමුවෙන්ම සම්බන්ධයක් නැත්තම් සිතක් ඇතිවන කෙනා ට ඇත්තටම ආදරේ කළාද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න වෙනවා. ඒක පහසු වැඩක් නෙවෙයි.
ඒත් කොහොමහරි ප්‍රථම ප්‍රේමය ගැන ලිපියක් ලිව්වා. ලිව්වේ මම වැඩියෙන්ම ආදරේ කරපු පෙරපාසල් ගුරුවරිය ගැන. එහෙමයි ඒ ප්‍රශ්නේ විසඳගත්තේ.
ආදරය වගේ වචන පාවිච්චි වෙන්නේ සුලබව. අම්මටත් ආදරෙයි. අප්පච්චිටත් ආදරෙයි. දරුවන්ට, යාළුවන්ට, ඉස්කෝලෙට, ගුරුවරුන්ට වගේම පොත්වලට, කවිවලට, මතවාදවලට, ආගිය තැන්වලට, මතක සටහන් වලටත් ආදරෙයි. විටෙක සීතලට, විටෙක උණුහුමට ආදරෙයි. හුදෙකලාවටත් ආදරෙයි. නින්දටත් ආදරෙයි. ඔය විදිහට ආදරේ කළහැකි දේවල් සිය දහස් ගණනක් තියෙන්න පුළුවන්.
මේ හැම පුද්ගලයා සමගම, හැම දේ සම්බන්ධව ද සුන්දර මතක සටහන් තියෙන්න පුළුවන්. ඒත් හැම කෙනාම, හැම දේම අපේ සිතුවිලි පෝෂණය කරන්නේ නෑ, අපට ජීවිතයේ සියුම් තැන් පෙන්නලා දෙන්නේ නෑ, හොඳ-නරක කියල දෙන්නේ නෑ, අපව යහපත් පුරවැසියන් බවට පත්කරන්නේ නෑ.
'මිහිර' පත්තරේ ඒ අතින් වෙනස්. මිහිර පත්තරේ මට වඩා වයසින් අවුරුදු හතරක් විතර වැඩිමල්. මේ 'අයියව' මුලින්ම හමුවෙනකොට මට අවුරුදු හයක් නැත්තම් හතක් විතර වෙන්න ඕන. මිහිර අයියා අයියෙක් ම නෙවෙයි. වැඩිහිටියෙක්. කිරිඅත්තෙක්, කිරිඅම්මෙක්. මාමෙක්, නැන්දෙක්. වෙලාවකට යාලුවෙක්. තවත් වෙලාවකට යාලුවෙක්. ඒ වගේම ගුරුවරයෙක් වුන අවස්ථා බොහෝ තිබුණා.
ඒ කාලේ මට මිහිර පත්තරේ ඔය විදිහට දැනුණද කියල හරියටම කියන්න බෑ. නිශ්චිතවම කියන්න පුළුවන් දේ තමයි මිහිර පත්තරේ සමග දැඩි ආදර බැඳීමක් ඇතිවුණ බවයි. කාලෙන් කාලෙට 'හොඳම යාළුවා' ගේ නම වෙනස් වුණා. මිහිර එහෙම නෑ. යාළුවෝ තරහ වෙනවා ආයෙත් යාලු වෙනවා. ආයෙත් අමනාප වෙනවා. ලංවෙනවා දුරස්වෙනවා. මිහිර එහෙම නෑ.
දුක හිතුණ වෙලාවට, කම්මැලිකමක් දැනුණ වෙලාවට, ලෝකය ගැන රට ගැන අවට පරිසරය ගැන පොතපත ගැන හොයන්න කුතුහලයක් ඇතිවුණ වෙලාවට මිහිර උපකාරක මිතුරෙක් වුනා. දෙලොව ගැන ඒ කාලෙත් වැඩිය දන්නේ නැතිවුනත් මිහිර මගේ දෙලොව යහපත සඳහාම කැපවුන අර්ථඛ්යායි මිතුරෙක් කියලයි දැන් නම් හිතෙන්නේ.
මගේ සුව දුක තමන්ගේ සුව දුක හැටියට මිහිර සැලකුවා කියලයි හිතෙන්නේ. මිහිර මට රහස් කිව්වා, මගේ රහස් ආරක්ෂා කළා. කවදාවත් මාව අතරමං කෙරුවේ නෑ. සමාන සුඛ දුක්ඛ මිතුරෙක් ම වුණා. මිහිර මගේ දියුණුව ගැනම හිතුවා. පිරිහීම මගහරවන හැටි හෙමීට කියල දුන්නා. වැරදුණ තැන් නිවැරදි කෙරුවා. ඒ වගේ අනුකම්පක මිතුරෙක් මට ඉඳලම නෑ.
'වීක් ඩේස්, වීකෙන්ඩ්' ඒ කාලේ වැදගත් වුණේ නෑ. නිවාඩු කාලේ දවස් වලට නම් තිබුනේ නෑ. ඉස්කෝලේ දවස්වල කාල සටහනක් තිබ්බ නිසා දවස් වලට නම් තිබුණා. කාලසටහනේ වැදගත් ම කාරණය වුණේ ඒක අවුරුද්ද මුලදී මිහිර පත්තරෙන් නොමිලේ දුන්න පාට පාට කාලසටහනක් වීමයි. කොහොම වුනත් මට මතක මෙච්චරයි: සතියට වැදගත් කියල තිබුණේ එක දවසක් විතරයි -- සඳුදා.
ළමාකාලය අවසන් විය යුතු දෙයක් කියල මුලින්ම කිව්වේ කව්ද කියන්න මතක නෑ. එහෙම වෙන්න ඕනම නෑ කියල තේරුම් ගත්තේ අවුරුදු ගාණක් ගතවුණාට පස්සේ. අහිමිවුණ ළමයා නැවත ලබාගන්න එක වෙහෙසකරයි කියල ඒ එක්කම තේරුණා. මිහිරට ඒ විදිහේ ප්‍රශ්න තිබුනෙම නෑ. පාඨක අපට ළමයින් වෙන්න ඉඩ දීලා මිහිර දිගටම ළමාකාලය තුල නේවාසිකව හිටියා. 'දැන්වත් මිනිහෙක් වෙයන්!' කියල කව්රුවත් මිහිරට කිව්වේ නෑ. කිව්වත් මිහිර ඔය වගේ මෝඩ කතා අහන්න සූදානම් නැති බව මට විශ්වාසයි.
මිහිර ගැන බොහෝ අය බොහෝ දේ කියල ඇති. මට එක කතාවක් හොඳට මතකයි: 'අපට කියවන පිස්සුව පුරුදු කරපු පත්තරේ'. හරියටම හරි. බූ, බබා සහ තුල්සි. බටකොළ ආච්චි. ප්‍රහේලිකාව. ඉස්කෝල ගැන විස්තර, ඉතිහාසය, විද්‍යාව, ශ්‍රේෂ්ට නායකයින්, කලාකරුවන්, නිර්මාණකරුවන් ගැන මොනතරම් ඉගෙනගත්තද කියල හිතනකොට මිහිර කියන්නේ විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න උපකාරක පන්තියක්මයි.
මුලින් ලොකු අයියෙක්, ලොකු අක්කෙක්. ගුරුවරයෙක්, වැඩිහිටියෙක්. පසුව මිතුරෙක්. අහිංසකකම, ළමාකම නැවත ලඟාකරගන්න අවශ්‍ය නම් මිහිර-මතකය අවදි කරන්න විතරයි තියෙන්නේ. ඒ තරම් ලෙන්ගතුයි. ඒ තරම් ප්‍රේමණීයයි.
පෙරපාසල් ගුරුවරිය ගැන ලිපියේ මෙහෙම ලියවුනා: 'පළමු ප්‍රේමයත් අවසන් ප්‍රේමයත් එකමයි.' මිහිරියි. මිහිර ම යි.

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි
විප්ලවයේ ආරම්භය සහ අවසානය 
ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  
Reactions:

2 comments:

දේශක යා said...

ඔබගේ ඉංග්‍රීිසි ලිපියට මා කොතරම් ආසත්ක උනාද යන්න අදටත් සිහිපත් වෙනවා. මේ පරිවර්තනය අපුරුයි.

දේශක යා said...

මම මේ ලිපිය දැක්ක ගමන් කමෙන්ටුවක් දැම්මා ඒක වැටිල නෑ වගෙ. මම ඒකෙදි කිව්වා මලින්දගෙ ඉංග්‍රීසි ලිපිය කියවල මම කෙතරම් ආශ්වාදයක් ලැබුවද කියල. මේ පරිවර්තනයත් ඉතා ආසාවෙන් කියෙව්වා. නියමයි. Thanks for the link too