05 July 2018

කැප්ටන් සහ කළු කමිසයක් අඳින මාළුකාරයා


බොල්ගොඩ වැව අසබඩ ජීවත් වන සරල මනුස්සයෙක් කපිතාන් එල්මෝ ජයවර්ධන. සැලකිය යුතු වත්කම් ඇති, රට රටවල් ගානේ දේශන පවත්වන එල්මෝට මම ආමන්ත්‍රණය කරන්නේ 'කැප්ටන්' කියලයි. කැප්ටන් හරිම සුන්දර කෙනෙක්. කැප්ටන් වැඩියෙන් සතුටු කාත් එක්ක හරි කතාකරන්න. කාට හරි උදව් කරන්න. කැප්ටන්ට විවිධ ප්‍රොජෙක්ට් තියෙනවා. විශේෂයෙන් දුප්පත් දක්ෂ ළමයින්ට අධ්‍යාපනයක්, පුහුණුවක් ලබාදෙන්න කැප්ටන් මහන්සි වෙනවා. කැප්ටන් විහිළු කරන්න කැමතියි. විනෝදකාමීයි. සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්.

කැප්ටන් කතන්දර කියන්න දක්ෂයි. ලියන්නත් දක්ෂයි. පසු කාලෙක 'සෑම්ගේ කතාව' නමින් නිෂ්පාදනය කරපු චිත්‍රපටය පදනම් වුණේ ග්‍රේෂන් සම්මානය හිමිකරගත් කැප්ටන් ඉංග්‍රීසියෙන් ලියු 'සෑම්ස් ස්ටෝරි' නවකතාව මතයි. ඉතින් මෙතනින් මගේ කතාව මොහොතකරට නතර කරලා කැප්ටන් දවසක් කියූ කතාවකට ඉඩ දුන්නොත් හොඳයි කියල හිතෙනවා. 'බොල්ගොඩ වැවේ බොහෝ අය මාළු අල්ලනවා. ශතවර්ෂ ගණනාවක් අල්ලන්න ඇති. හෙට ඒ පැත්තට ගියොත් බලන්න පුළුවන් වෙයි. බෝට්ටු. දැල්. මාළු බාන මිනිස්සු. ඒත් මේ කතාව එක්තරා මාළුකාරයෙක් ගැනයි. එයා සුවිශේෂ වෙන්න පුළුවන්. නැත්තම් ඒ කට්ටිය හැමෝම එයා වගේ වෙන්නත් පුළුවන්.

'ඒ මනුස්සයා හැමදාම මගේ ගෙදර ළඟින් යනවා එනවා මම දැකල තියෙනවා, ඒත් අපි කතා කරලා තිබුනෙම නැහැ. මට එක දෙයක් හොඳට මතකයි. එයා හැමදාම ඇඳගෙන හිටියේ එකම එක කමිසයක්. කළු පාට කමිසයක්. දවසක් මම ඒ මනුස්සයාව නවත්තලා කිව්වා "දෙන්න තියෙනවා" කියල. පාර්සලක්. කමිස වගයක්. ගන්න කැමතිද කියල ඇහුවම මෙහෙම කිව්වා: "මම කොහෙවත් යන්නේ නැහැනේ...මට මොනවටද කමිස?"

'ඉතින් අපි කතා කෙරුව. එයාගේ නෝනා පොලේ එළවළු විකුණනවා කිව්වා. දුවට පිටරට යන්න ඕනකමක් තිබුන කිව්වා, ඒත් ඒක කරගන්නත් බැරිවුණා කිව්වා. ඉතින් 'තියෙන දෙයක් කාලා ඉමු" කියල දුවට කිව්වලු. දුව පිටරට ගියේ නැතිලු. එයාල ඉන්නවා. ජීවත් වෙනවා. 'ඊට ටික දවසකට පස්සේ අපේ ගෙදර වැඩ කරන කෙනෙක් මට කිව්වා කළු ෂ(ර්)ට් එක අඳින මනුස්සයා මාළුවෙක් දීල ගියා කියල. මගේ උදව් අවශ්‍ය නොවුණත් උදව්වක් කරන්න උත්සාහ කරපු එකට අගයක් දෙන්න හිතුව වෙන්න ඇති.

'ඒ වගේ අය මම දැකල තියෙනවා. මගේ ඉඩම ළඟ එයාලගේ බෝට්ටු බැඳලා යනවා. හැමදාම දකිනවා. එකම අය, එකම බෝට්ටු. ඉඳහිට අහනවා ඔය බෝට්ටු වලට මෝටරයක් හයිකරන්න හිතල නැද්ද කියල. ඒ ගැන වැඩි උනන්දුවක් දක්වල නැහැ කවදාවත්.

'මේ මිනිස්සු ගැන, විශේෂයෙන්ම කළු කමිසය අඳින මනුස්සයා ගැන මම නිතර කල්පනා කරනවා. එයාල මහන්සි වෙනවා. වැඩිය හම්බකරන්නෙත් නැහැ. හැමදාම වගේ ඔහේ ජීවත්වෙනවා. තියන දෙයක් කනවා. මම මගේ ජීවිතය ගැනත් මට මුණගැහෙන අයගේ ජීවිත ගැනත් හිතනවා. මම ලෝකේ වටේ ඇවිදිනවා. හෝටල් වල දවස් ගණන් ලගින්න වෙනවා. කොහේ ගියත් ඇහෙන්නෙම මැසිවිලි. කෑම ගැන, හෝටල් වල සේවය ගැන. ඇත්තම කියනව නම් ඇද ගැනමයි කතා කරන්නේ. අඩුපාඩුමයි පේන්නේ.

'කළු කමිසය අඳින මාළුකාරයා මැසිවිලි නගන්නේ නැහැ,' කැප්ටන් කතාව ඉවර කෙරුවේ එහෙමයි.

තෘප්තියේ ප්‍රමාණය සාපේක්ෂයි. ඒක ඇත්ත. සල්ලි, යාන වාහන, ගෙවල් දොරවල්, ළමයින්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ ඉන්ෂුවරන්ස් පොලිසි එකක්, තනතුරක්, තත්ත්වයක්, පිළිගැනීමක්...මේවා අවශ්‍යයි හැමෝටම අඩු වැඩි වශයෙන්. 'වැඩි වශයෙන්' කිව්වොත් වඩා නිවැරදියි කියලත් හිතෙනවා. වටිනාම දේවල් වලට මිලක් නියම කරන්න බෑ කියලත් අහල තියෙනවා. ජීවත් විය යුත්තේ මෙහෙමයි කියල නිර්දේශ කරන්න අමාරුයි.

කැප්ටන් ලෝකේ වටේ මිනිසුන් සමග තමන්ගේ දැනුම බෙදනවා. එහෙම කරනවට කැප්ටන්ට වේතනයක් ලැබෙනවා. කැප්ටන් වැඩිය සතුටු වෙන්නේ නොමිලේ කරන දේවල් වලට. ඒ බව මම හොඳින් දන්නවා. හමුවෙන හැමෝගෙන්ම මොකක් හරි ඉගෙනගන්න ජාතියේ මනුස්සයෙක් කැප්ටන්. ඉගෙනගන්න හැම දෙයක්ම විකුණන්න බැරි බවත්, විකුණන්න බැරි බොහෝ ලොකු වටිනාකමක් තියෙන බවත් කැප්ටන් දන්නවා කියලයි මට හිතෙන්නේ.

කැප්ටන්ගේ ගෙදර ඉඳල බලනකොට බොල්ගොඩ වැව ලස්සනයි. දන්න හැම රහසක්ම වැව හැමෝටම කිය කිය යන්නේ නෑ. වැව දන්නේ වැව ගැන විතරක් නෙවෙයි. ජීවිතය ගැනත්, වටිනාකම ගැනත්, වටිනාකම් ගැනත් වැව බොහෝ දේ දන්නවා කියලයි මට හිතෙන්නේ.

කැප්ටන් පරිත්‍යාගශීලී මනුස්සයෙක්. කළු කමිසය අඳින මාළුකාරයත් පරිත්‍යාගශීලී මනුස්සයෙක්. දෙන්නා පරිත්‍යාග කරන්නේ දෙවිදිහකට. දෙන්නේ එකම දේම නෙවෙයි. ජීවිත පාඩම් මේ දෙන්නා ඉගෙනගත්තේ කොහෙන්ද කියලා කියන්න දන්නේ නැති වුණත්, හැමතැනම තියෙන නමුත් ඇහැට අහු නොවෙන සියුම් දේවල් මේ දෙන්නම දන්න බව නම් පැහැදිලියි. සරලම විදිහට කිව්වොත්, කමිස නම් බොහොම වැඩියි.
"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි
විප්ලවයේ ආරම්භය සහ අවසානය 
ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?' 

Reactions:

0 comments: