Showing posts with label මගේ ඇස අග. Show all posts
Showing posts with label මගේ ඇස අග. Show all posts

05 July 2018

කැප්ටන් සහ කළු කමිසයක් අඳින මාළුකාරයා


බොල්ගොඩ වැව අසබඩ ජීවත් වන සරල මනුස්සයෙක් කපිතාන් එල්මෝ ජයවර්ධන. සැලකිය යුතු වත්කම් ඇති, රට රටවල් ගානේ දේශන පවත්වන එල්මෝට මම ආමන්ත්‍රණය කරන්නේ 'කැප්ටන්' කියලයි. කැප්ටන් හරිම සුන්දර කෙනෙක්. කැප්ටන් වැඩියෙන් සතුටු කාත් එක්ක හරි කතාකරන්න. කාට හරි උදව් කරන්න. කැප්ටන්ට විවිධ ප්‍රොජෙක්ට් තියෙනවා. විශේෂයෙන් දුප්පත් දක්ෂ ළමයින්ට අධ්‍යාපනයක්, පුහුණුවක් ලබාදෙන්න කැප්ටන් මහන්සි වෙනවා. කැප්ටන් විහිළු කරන්න කැමතියි. විනෝදකාමීයි. සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්.

කැප්ටන් කතන්දර කියන්න දක්ෂයි. ලියන්නත් දක්ෂයි. පසු කාලෙක 'සෑම්ගේ කතාව' නමින් නිෂ්පාදනය කරපු චිත්‍රපටය පදනම් වුණේ ග්‍රේෂන් සම්මානය හිමිකරගත් කැප්ටන් ඉංග්‍රීසියෙන් ලියු 'සෑම්ස් ස්ටෝරි' නවකතාව මතයි. ඉතින් මෙතනින් මගේ කතාව මොහොතකරට නතර කරලා කැප්ටන් දවසක් කියූ කතාවකට ඉඩ දුන්නොත් හොඳයි කියල හිතෙනවා. 'බොල්ගොඩ වැවේ බොහෝ අය මාළු අල්ලනවා. ශතවර්ෂ ගණනාවක් අල්ලන්න ඇති. හෙට ඒ පැත්තට ගියොත් බලන්න පුළුවන් වෙයි. බෝට්ටු. දැල්. මාළු බාන මිනිස්සු. ඒත් මේ කතාව එක්තරා මාළුකාරයෙක් ගැනයි. එයා සුවිශේෂ වෙන්න පුළුවන්. නැත්තම් ඒ කට්ටිය හැමෝම එයා වගේ වෙන්නත් පුළුවන්.

'ඒ මනුස්සයා හැමදාම මගේ ගෙදර ළඟින් යනවා එනවා මම දැකල තියෙනවා, ඒත් අපි කතා කරලා තිබුනෙම නැහැ. මට එක දෙයක් හොඳට මතකයි. එයා හැමදාම ඇඳගෙන හිටියේ එකම එක කමිසයක්. කළු පාට කමිසයක්. දවසක් මම ඒ මනුස්සයාව නවත්තලා කිව්වා "දෙන්න තියෙනවා" කියල. පාර්සලක්. කමිස වගයක්. ගන්න කැමතිද කියල ඇහුවම මෙහෙම කිව්වා: "මම කොහෙවත් යන්නේ නැහැනේ...මට මොනවටද කමිස?"

'ඉතින් අපි කතා කෙරුව. එයාගේ නෝනා පොලේ එළවළු විකුණනවා කිව්වා. දුවට පිටරට යන්න ඕනකමක් තිබුන කිව්වා, ඒත් ඒක කරගන්නත් බැරිවුණා කිව්වා. ඉතින් 'තියෙන දෙයක් කාලා ඉමු" කියල දුවට කිව්වලු. දුව පිටරට ගියේ නැතිලු. එයාල ඉන්නවා. ජීවත් වෙනවා. 'ඊට ටික දවසකට පස්සේ අපේ ගෙදර වැඩ කරන කෙනෙක් මට කිව්වා කළු ෂ(ර්)ට් එක අඳින මනුස්සයා මාළුවෙක් දීල ගියා කියල. මගේ උදව් අවශ්‍ය නොවුණත් උදව්වක් කරන්න උත්සාහ කරපු එකට අගයක් දෙන්න හිතුව වෙන්න ඇති.

'ඒ වගේ අය මම දැකල තියෙනවා. මගේ ඉඩම ළඟ එයාලගේ බෝට්ටු බැඳලා යනවා. හැමදාම දකිනවා. එකම අය, එකම බෝට්ටු. ඉඳහිට අහනවා ඔය බෝට්ටු වලට මෝටරයක් හයිකරන්න හිතල නැද්ද කියල. ඒ ගැන වැඩි උනන්දුවක් දක්වල නැහැ කවදාවත්.

'මේ මිනිස්සු ගැන, විශේෂයෙන්ම කළු කමිසය අඳින මනුස්සයා ගැන මම නිතර කල්පනා කරනවා. එයාල මහන්සි වෙනවා. වැඩිය හම්බකරන්නෙත් නැහැ. හැමදාම වගේ ඔහේ ජීවත්වෙනවා. තියන දෙයක් කනවා. මම මගේ ජීවිතය ගැනත් මට මුණගැහෙන අයගේ ජීවිත ගැනත් හිතනවා. මම ලෝකේ වටේ ඇවිදිනවා. හෝටල් වල දවස් ගණන් ලගින්න වෙනවා. කොහේ ගියත් ඇහෙන්නෙම මැසිවිලි. කෑම ගැන, හෝටල් වල සේවය ගැන. ඇත්තම කියනව නම් ඇද ගැනමයි කතා කරන්නේ. අඩුපාඩුමයි පේන්නේ.

'කළු කමිසය අඳින මාළුකාරයා මැසිවිලි නගන්නේ නැහැ,' කැප්ටන් කතාව ඉවර කෙරුවේ එහෙමයි.

තෘප්තියේ ප්‍රමාණය සාපේක්ෂයි. ඒක ඇත්ත. සල්ලි, යාන වාහන, ගෙවල් දොරවල්, ළමයින්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ ඉන්ෂුවරන්ස් පොලිසි එකක්, තනතුරක්, තත්ත්වයක්, පිළිගැනීමක්...මේවා අවශ්‍යයි හැමෝටම අඩු වැඩි වශයෙන්. 'වැඩි වශයෙන්' කිව්වොත් වඩා නිවැරදියි කියලත් හිතෙනවා. වටිනාම දේවල් වලට මිලක් නියම කරන්න බෑ කියලත් අහල තියෙනවා. ජීවත් විය යුත්තේ මෙහෙමයි කියල නිර්දේශ කරන්න අමාරුයි.

කැප්ටන් ලෝකේ වටේ මිනිසුන් සමග තමන්ගේ දැනුම බෙදනවා. එහෙම කරනවට කැප්ටන්ට වේතනයක් ලැබෙනවා. කැප්ටන් වැඩිය සතුටු වෙන්නේ නොමිලේ කරන දේවල් වලට. ඒ බව මම හොඳින් දන්නවා. හමුවෙන හැමෝගෙන්ම මොකක් හරි ඉගෙනගන්න ජාතියේ මනුස්සයෙක් කැප්ටන්. ඉගෙනගන්න හැම දෙයක්ම විකුණන්න බැරි බවත්, විකුණන්න බැරි බොහෝ ලොකු වටිනාකමක් තියෙන බවත් කැප්ටන් දන්නවා කියලයි මට හිතෙන්නේ.

කැප්ටන්ගේ ගෙදර ඉඳල බලනකොට බොල්ගොඩ වැව ලස්සනයි. දන්න හැම රහසක්ම වැව හැමෝටම කිය කිය යන්නේ නෑ. වැව දන්නේ වැව ගැන විතරක් නෙවෙයි. ජීවිතය ගැනත්, වටිනාකම ගැනත්, වටිනාකම් ගැනත් වැව බොහෝ දේ දන්නවා කියලයි මට හිතෙන්නේ.

කැප්ටන් පරිත්‍යාගශීලී මනුස්සයෙක්. කළු කමිසය අඳින මාළුකාරයත් පරිත්‍යාගශීලී මනුස්සයෙක්. දෙන්නා පරිත්‍යාග කරන්නේ දෙවිදිහකට. දෙන්නේ එකම දේම නෙවෙයි. ජීවිත පාඩම් මේ දෙන්නා ඉගෙනගත්තේ කොහෙන්ද කියලා කියන්න දන්නේ නැති වුණත්, හැමතැනම තියෙන නමුත් ඇහැට අහු නොවෙන සියුම් දේවල් මේ දෙන්නම දන්න බව නම් පැහැදිලියි. සරලම විදිහට කිව්වොත්, කමිස නම් බොහොම වැඩියි.
"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි
විප්ලවයේ ආරම්භය සහ අවසානය 
ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?' 

21 June 2018

ප්‍රථම ප්‍රේමය මිහිරියි


'උඹේ ප්‍රථම ප්‍රේමය ගැන ලියපන්.' යාළුවෙක් එහෙම කිව්වේ හොඳකට නෙවෙයි. එයත් දන්න මමත් දන්න මගේ පළමු ප්‍රේමවන්තිය ගැන ලිවීමෙන් බොහෝ දෙනෙක් අපහසුතාවයට පත්වෙන බව දැනගෙනයි එහෙම ඉල්ලීමක් කළේ. විශේෂයෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ මම. කොහොම වුණත් 'ප්‍රථම' කියන වචනය එක්ක පැටලෙන්න වෙනවා. පළමුවෙන්ම සම්බන්ධයක් නැත්තම් සිතක් ඇතිවන කෙනා ට ඇත්තටම ආදරේ කළාද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න වෙනවා. ඒක පහසු වැඩක් නෙවෙයි.
ඒත් කොහොමහරි ප්‍රථම ප්‍රේමය ගැන ලිපියක් ලිව්වා. ලිව්වේ මම වැඩියෙන්ම ආදරේ කරපු පෙරපාසල් ගුරුවරිය ගැන. එහෙමයි ඒ ප්‍රශ්නේ විසඳගත්තේ.
ආදරය වගේ වචන පාවිච්චි වෙන්නේ සුලබව. අම්මටත් ආදරෙයි. අප්පච්චිටත් ආදරෙයි. දරුවන්ට, යාළුවන්ට, ඉස්කෝලෙට, ගුරුවරුන්ට වගේම පොත්වලට, කවිවලට, මතවාදවලට, ආගිය තැන්වලට, මතක සටහන් වලටත් ආදරෙයි. විටෙක සීතලට, විටෙක උණුහුමට ආදරෙයි. හුදෙකලාවටත් ආදරෙයි. නින්දටත් ආදරෙයි. ඔය විදිහට ආදරේ කළහැකි දේවල් සිය දහස් ගණනක් තියෙන්න පුළුවන්.
මේ හැම පුද්ගලයා සමගම, හැම දේ සම්බන්ධව ද සුන්දර මතක සටහන් තියෙන්න පුළුවන්. ඒත් හැම කෙනාම, හැම දේම අපේ සිතුවිලි පෝෂණය කරන්නේ නෑ, අපට ජීවිතයේ සියුම් තැන් පෙන්නලා දෙන්නේ නෑ, හොඳ-නරක කියල දෙන්නේ නෑ, අපව යහපත් පුරවැසියන් බවට පත්කරන්නේ නෑ.
'මිහිර' පත්තරේ ඒ අතින් වෙනස්. මිහිර පත්තරේ මට වඩා වයසින් අවුරුදු හතරක් විතර වැඩිමල්. මේ 'අයියව' මුලින්ම හමුවෙනකොට මට අවුරුදු හයක් නැත්තම් හතක් විතර වෙන්න ඕන. මිහිර අයියා අයියෙක් ම නෙවෙයි. වැඩිහිටියෙක්. කිරිඅත්තෙක්, කිරිඅම්මෙක්. මාමෙක්, නැන්දෙක්. වෙලාවකට යාලුවෙක්. තවත් වෙලාවකට යාලුවෙක්. ඒ වගේම ගුරුවරයෙක් වුන අවස්ථා බොහෝ තිබුණා.
ඒ කාලේ මට මිහිර පත්තරේ ඔය විදිහට දැනුණද කියල හරියටම කියන්න බෑ. නිශ්චිතවම කියන්න පුළුවන් දේ තමයි මිහිර පත්තරේ සමග දැඩි ආදර බැඳීමක් ඇතිවුණ බවයි. කාලෙන් කාලෙට 'හොඳම යාළුවා' ගේ නම වෙනස් වුණා. මිහිර එහෙම නෑ. යාළුවෝ තරහ වෙනවා ආයෙත් යාලු වෙනවා. ආයෙත් අමනාප වෙනවා. ලංවෙනවා දුරස්වෙනවා. මිහිර එහෙම නෑ.
දුක හිතුණ වෙලාවට, කම්මැලිකමක් දැනුණ වෙලාවට, ලෝකය ගැන රට ගැන අවට පරිසරය ගැන පොතපත ගැන හොයන්න කුතුහලයක් ඇතිවුණ වෙලාවට මිහිර උපකාරක මිතුරෙක් වුනා. දෙලොව ගැන ඒ කාලෙත් වැඩිය දන්නේ නැතිවුනත් මිහිර මගේ දෙලොව යහපත සඳහාම කැපවුන අර්ථඛ්යායි මිතුරෙක් කියලයි දැන් නම් හිතෙන්නේ.
මගේ සුව දුක තමන්ගේ සුව දුක හැටියට මිහිර සැලකුවා කියලයි හිතෙන්නේ. මිහිර මට රහස් කිව්වා, මගේ රහස් ආරක්ෂා කළා. කවදාවත් මාව අතරමං කෙරුවේ නෑ. සමාන සුඛ දුක්ඛ මිතුරෙක් ම වුණා. මිහිර මගේ දියුණුව ගැනම හිතුවා. පිරිහීම මගහරවන හැටි හෙමීට කියල දුන්නා. වැරදුණ තැන් නිවැරදි කෙරුවා. ඒ වගේ අනුකම්පක මිතුරෙක් මට ඉඳලම නෑ.
'වීක් ඩේස්, වීකෙන්ඩ්' ඒ කාලේ වැදගත් වුණේ නෑ. නිවාඩු කාලේ දවස් වලට නම් තිබුනේ නෑ. ඉස්කෝලේ දවස්වල කාල සටහනක් තිබ්බ නිසා දවස් වලට නම් තිබුණා. කාලසටහනේ වැදගත් ම කාරණය වුණේ ඒක අවුරුද්ද මුලදී මිහිර පත්තරෙන් නොමිලේ දුන්න පාට පාට කාලසටහනක් වීමයි. කොහොම වුනත් මට මතක මෙච්චරයි: සතියට වැදගත් කියල තිබුණේ එක දවසක් විතරයි -- සඳුදා.
ළමාකාලය අවසන් විය යුතු දෙයක් කියල මුලින්ම කිව්වේ කව්ද කියන්න මතක නෑ. එහෙම වෙන්න ඕනම නෑ කියල තේරුම් ගත්තේ අවුරුදු ගාණක් ගතවුණාට පස්සේ. අහිමිවුණ ළමයා නැවත ලබාගන්න එක වෙහෙසකරයි කියල ඒ එක්කම තේරුණා. මිහිරට ඒ විදිහේ ප්‍රශ්න තිබුනෙම නෑ. පාඨක අපට ළමයින් වෙන්න ඉඩ දීලා මිහිර දිගටම ළමාකාලය තුල නේවාසිකව හිටියා. 'දැන්වත් මිනිහෙක් වෙයන්!' කියල කව්රුවත් මිහිරට කිව්වේ නෑ. කිව්වත් මිහිර ඔය වගේ මෝඩ කතා අහන්න සූදානම් නැති බව මට විශ්වාසයි.
මිහිර ගැන බොහෝ අය බොහෝ දේ කියල ඇති. මට එක කතාවක් හොඳට මතකයි: 'අපට කියවන පිස්සුව පුරුදු කරපු පත්තරේ'. හරියටම හරි. බූ, බබා සහ තුල්සි. බටකොළ ආච්චි. ප්‍රහේලිකාව. ඉස්කෝල ගැන විස්තර, ඉතිහාසය, විද්‍යාව, ශ්‍රේෂ්ට නායකයින්, කලාකරුවන්, නිර්මාණකරුවන් ගැන මොනතරම් ඉගෙනගත්තද කියල හිතනකොට මිහිර කියන්නේ විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න උපකාරක පන්තියක්මයි.
මුලින් ලොකු අයියෙක්, ලොකු අක්කෙක්. ගුරුවරයෙක්, වැඩිහිටියෙක්. පසුව මිතුරෙක්. අහිංසකකම, ළමාකම නැවත ලඟාකරගන්න අවශ්‍ය නම් මිහිර-මතකය අවදි කරන්න විතරයි තියෙන්නේ. ඒ තරම් ලෙන්ගතුයි. ඒ තරම් ප්‍රේමණීයයි.
පෙරපාසල් ගුරුවරිය ගැන ලිපියේ මෙහෙම ලියවුනා: 'පළමු ප්‍රේමයත් අවසන් ප්‍රේමයත් එකමයි.' මිහිරියි. මිහිර ම යි.

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි
විප්ලවයේ ආරම්භය සහ අවසානය 
ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

14 June 2018

විප්ලවයේ ආරම්භය සහ අවසානය


ඒ වන විට 'භීෂණය' ජනගත වෙලා තිබුණේ නෑ. ඒත් පෙරනිමිති පහළ වෙමින් තිබුණා. ඒ භීෂණයේ මුල් අවධිය කියල කියන්න පුළුවන්. මතක හැටියට 1988 වසරේ සැප්තැම්බර් මාසයේ. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වුණ උද්ඝෝෂණයකට පොලිසියෙන් වෙඩි තියල නුගවෙල මාධ්‍ය මහා විද්‍යාලයේ අවුරුදු 15ක සිසුවෙක් මැරුණා. ඒ පිළිබඳව විරෝධය ප්‍රකාශ කරන්න පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයින් මහනුවර පිකට් කෙරුව.
සුපුරුදු විදිහට පොලීසිය බැටන් පොලු ප්‍රහාරයක් දියත් කෙරුවා. පාරේ එක පැත්තක කඩ පේලියක්, අනිත් පැත්තේ තාවකාලිකව අටවගත්ත රෙදි කඩ. උද්ඝෝෂකයින් කඩවල් ඇතුලට රිංගුවා බේරෙන්න. පාරේ අනිත් පැත්තේ පෝස්ටර් උස්සගෙන හිටපු අයට දුවන්න තැනක් තිබුණේ නෑ.
කඩවල්වලට රිංගපු ළමයි උඩ තට්ටුවට ගිහින් සිද්ධිය බලාගෙන හිටියා. පාරේ එහා පැත්තේ ළමයිට අනුකම්පා විරහිතව පොලීසිය බැටන් පොලුවලින් ගහනවා.
විශ්වවිද්‍යාල සටන්වලට සම්බන්ධ වෙන්නේ ලොකු දේශපාලන දැනීමක්වත් මතවාදී කාරණා විශ්ලේෂණය කරලා සමස්ත සමාජ ආර්ථික දේශපාල වටපිටාව ගැන පුළුල් අවබෝධයක් ලබාගත් අයම නෙවෙයි. සටන සාධාරණයි කියල දැනෙන නිසා, යාලුවෝ සහභාගී වන නිසා, කළ යුත්තේ මෙයයි කියල පොදු මතයක් ඇති වෙලා තියෙන බව තේරුම්ගත නිසා වගේ සරල කාරණා පදනම් කරගෙන සටන් කරන අය තමයි වැඩිපුරම ඉන්නේ.
එවැනි කෙනෙක් එක්තරා කඩයක බැල්කනියේ හිටගෙන මේ පොලිස් පහරදීම් දිහා බලාගෙන හිටියා. ඒ තරුණයා දේශපාලනය ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. දේශපාලනය ගැන කිසිම උනන්දුවක් තිබුණෙත් නෑ. එයා ආදරය කෙරුවේ කලාවට, විශේෂයෙන්ම සංගීතයට. සංගීත විශාරදයෙක්, ඒ කාලේ වෙද්දීත් විශිෂ්ට දිල්රුබා වාදකයෙක්.
'මේක වැරදියි මචං,' ඒ නිහඬ චරිතය එච්චරයි කිව්වේ.
ශිෂ්‍ය ව්‍යාපාරයටවත් ජනතා විමුක්ති පෙරමුණටවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයටවත් මේ තරුණයා ඍජුව සම්බන්ධ නොවුණත්, පොදුවේ ආණ්ඩු-විරෝධී කුලකයට එකතු වුණා. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියා. අවශ්‍ය තැන් වලදී බය නැතිව කතා කෙරුවා. විප්ලවවාදියෙක් නොවුණත් නායකයෙක් වුණා.
විප්ලව පටන් ගන්නේ එහෙමයි. තමන්ගේ පුද්ගලික අරමුණුවලට එහා දෙයක් දකින මොහොතක. පොදු බව ගැන අදහසක් ඇති වෙන මොහොතක. පහසු දේ වෙනුවට කළ යුතු දේ ගැන හිතන්න පටන්ගන්නකොට. බෙදාහන්න උවමනාවක් උපදින තැනක. මතුපිට තියෙන බොරුව විනිවිදින කවියකින්.
දේශපාලනය දන්න අය, අරගල කරන අය එකඟ නොවෙන්න පුළුවන්. මම කියන්නේ විහිළු කතා කියල හිතන්නත් පුළුවන්. 'විප්ලවය කියන්නේ තේ පැන් සාදයක් නොවේ' කියල කියන්නත් පුළුවන් මාඕ උපුටා දක්වමින්. 'අහෝ! කවි බිඳුවකින් හෝ ආදර බිඳුවකින් මෙලොව ඇති ක්‍රෝධය සමනය කරන්නට හැකි නම්! එහෙත් ඒ සඳහා දෘඩ හදවතම අවශ්‍යයි" -- කවියම විප්ලවයේ අවියක් කරගත් පැබ්ලෝ නෙරුඩා මෙහෙම කිව්වා නේ කියලත් කියන්න පුළුවන්.
ඒත් මේ කතා කරන්නේ විප්ලව ගැන නෙවෙයි, අරගලවල ඇරඹුම ගැනයි. කවියෙන් තෙත් කරන හදවත්වල වරද දකින්නත් එය නිවැරදි කරන්නත් උවමනාවක් අධිෂ්ටානයක් උපදිනවා කියල හිතෙනවා මට.
බොරිස් පැස්ටනැක් ගේ 'ඩොක්ටර් ශිවාගෝ' නවකතාවේ එක මොහොතක් මතක් වෙනවා. ශිවාගෝ විප්ලවවාදියෙක් නොවේ, කවියෙක්. ඔහු ආදරය කළේ ලාරා ඇන්ටිපොවාට. ලාරාගේ නිත්‍යානුකූල ස්වාමියා ස්ට්‍රෙල්නිකොව්. විප්ලවවාදියෙක් නමුත් බෝල්ෂෙවික් පාර්ශවයට විරුද්ධ වුණ කෙනෙක්. මේ දෙන්නා අහම්බෙන් මුණගැහෙන්නේ ශිවාගෝ, ඔහුගේ පවුල සමඟ යූරියැටින් බලා ගමන් කරද්දී. ඒ බව දැනගත් ස්ට්‍රෙල්නිකෝ 'යූරියැටින්?' කියා මුමුනන්නේ ලාරා එහෙ වෙසෙන බව දැනගෙන.
ශිවාගෝ එවිට ලාරා සමග යුධබිමේ තුවාල වුවන්ට ප්‍රතිකාර කළ බවත්, ලාරා පළමුවෙන්ම දුටුවේ ඊට අවුරුදු ගණනකට පෙර බවත්, ඒ මොහොතේ ස්ට්‍රෙල්නිකොව් ද ඈ සමඟ සිටි බවත් පවසන්නේ ඔවුන් දෙදෙනා ඒ අවස්ථාවේ දී අන් සියලුදෙනා ලැජ්ජාවට පත් කළ බවත් මතක් කරමින්.
ස්ට්‍රෙල්නිකොව් මොහොතක් නිහඬව සිට මෙහෙම දෙයක් කියනවා. පුද්ගලික ජීවිතය අවසාන වෙලා ශිවාගෝ; ඉතිහාසය එය ඝාතනය කරලයි තියෙන්න.'
විප්ලවය අවසන් වුණේ කවද්ද කියල හරියටම කියන්න බෑ. සමහරු කියන්නේ 1990 කියලයි. විප්ලවය අවසන් වුණේ ලෙනින් මැරුණ දවසේ කියලත් කියන්න පුළුවන්. ස්ටාලින් බලය ලබාගත් මොහොතේ නැත්තම් ට්‍රොට්ස්කිට පලා යන්න සිද්ධ වුණ මොහොතේ කියලත් කියන්න පුළුවන්. මේවාගෙන් එකක් නැත්තම් ඒ වගේ 'සිදුවීමක්' විප්ලවයේ අවසානය සනිටුහන් කරපු බවට තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. 'අවසානය' ගැන වෙන විදිහකටත් හිතන්න පුළුවන්.
ආදරය අතහරින්නේ යම් මොහොතකද ඒ මොහොතේම විප්ලවයත් අවසන් වෙනවා. මට හිතෙන්නේ එහෙමයි.

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

08 June 2018

කුදුබව සහ කුදුකම නොහොත් සාකෝසිකරණය


යුරෝපයේ පිරිමින්ගේ සාමාන්‍ය උස අඩි පහයි අඟල් දහයයි.  ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාකෝසි ගේ උස අඩි පහයි අඟල් පහයි.  උස ප්‍රශ්නයක් කරගත් සාකෝසි අපූරු උපක්‍රමයක් පාවිච්චි කල බව වාර්තා වේ. තමන්ට වඩා උසින් අඩු පුද්ගලයින් කිහිප දෙනක් නිතරම තමන් අවට තබාගත් සාකෝසි ට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වුණා, මන්ද එවිට සාකෝසි මිටි බව පෙනුණේ නැති නිසා.  

ඒ පුවත කියවද්දී ඩලස් අලහප්පෙරුම 2001 වසරේ කියූ දෙයක් මතක් වුණා. 2001 මහා මැතිවරණයට තරඟ නොකරන්න තීරණය කල ඩලස් මාදිවෙල ඔහුට හිමි නිල නිවසෙන් නික්ම යන්නට සුදානම් වෙමින් සිටිය මොහොතක ඔහු හමුවුයේ 'දි අයිලන්ඩ්' පුවත්පතට ඒ පිලිබඳ ඔහුගේ අදහස් දැනගෙන ලිපියක් සකස් කර ගැනීමටයි.  ඩලස් මෙහෙම දෙයක් පැවසුවා:

'මාලින්ද, අපි සුදු වැඩියි මේ දේශපාලනයේ යෙදෙන්න.  මෙතැන ඉන්නේ දුඹුරු මිනිස්සු.  එයාල කැමතිත් දුඹුරු අයට. සුදු කෙනෙක් ආව ගමන් එයාලා දුඹුරු බව පෙනෙන්න පටන් ගන්නවා.'  

ඩලස් පසුව මේ සුදු-දුඹුරු න්‍යාය බැහැර කළත්, ඩලස් ගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.  ඒ කාරණය දේශපාලනයට සීමා වුණ එකකුත් නෙවෙයි.  

පහසු සහ වාසිදායක දේ දුඹුරු වීම නම්, දුඹුරු වෙනවා. 'මම නම් එහෙම නෑ, මම වෙනස්' කියල ඒත්තුගන්නන්න අවශ්‍ය නම්, සුදු පාට තවරා ගන්නවා.  'ඇඩ්' කියල කියන්නේ එහෙම දේවල් වලට.  අඩු වහගන්න අවශ්‍යනම් එම අඩුම තියෙන අය ආශ්‍රය කරනවා.     

මෙය හරිම සරල ක්‍රමවේදයක්. තමන් අදක්ෂ නම් තමන්ට වඩා අදක්ෂ අය තමන් අවට තියාගන්නවා.  තමන් හොරෙක් නම් තමන්ට වඩා හොරකම් කරන අය ළඟ තබාගන්නවා. තමන් විකටයෙක් නම් තමන්ට වඩා විහිළුසහගත අයගෙන් පිරිවර හදා ගන්නවා.  තමන් මෝඩ නම්, ඊටත් වඩා මෝඩයින් තමන්ගේ උපදේශකයින් ලෙස පත්කරගන්නවා.  

වෙන විදිහකට කියනවා නම් මේ හැමදේකින්ම කරන්නේ හාල්කෑලි මෝරු බවට පත්කරන එක.  මෝරු හැංගිලා ඉන්න තාක් කල් මේ ක්‍රමය සාර්ථක වෙනවා. මෝරා හැංගිලා ඉන්නකොට 'මෝරු නෑ' කියල හිතන්නත් පුළුවන්, හාල් කෑලි මෝරු හැටියට අන්දන්නත් පුළුවන්.  මෝරු කියල විකුණන්නත් පුළුවන්.  ඒ වුනාට හාල් කෑල්ලකට මෝරෙක් වෙන්න බෑ. 'හාල්කෑලිකම්' කවද හරි මතුවෙනවා.  

පෞරුෂ ගැන සිතමු.  වෙම්බ්ලි ක්‍රීඩාංගනය තනියම පුරවන්න පුළුවන් තරම්  දැවැන්ත පෞරුෂ සමහර අයට තියෙනවා.  කොළඹ විශ්ව විද්‍යාලය ළඟ විකුණන කූඩාරමකට සමහර අය රිංගුවොත් කූඩාරම වෙම්බ්ලි ක්‍රීඩාංගනය තරම් විශාලයි වගේ පෙනෙනවා. පෞරුෂයන් ඒ තරම්ම කුදුයි. ලස්සන ඇඳුමක් ඇඳගෙන, තමන්ට වඩා පෞරුෂයෙන් කුඩු වූ පිරිසක් පිරිවරාගෙන පපුව ඉස්සරහට් දමාගෙන උජාරුවට ඇවිද්දත් අර 'මෝර ගතිය' ආරෝපණය වෙන්නේ නෑ. ආරෝපණය කරගත්තත් ලස්සන ඇඳුම, උජාරුව, පිරිවර කපාගෙන 'හාල්කෑලිකම්' ඉස්මතු වෙනවා.  

සාකෝසි ට කරන්න තිබුණ පහසුම දේ  සාකෝසි වීමමයි. කකුලේ තරමටයි සපත්තුව තෝරගන්න ඕන.  තරමට නොගැලපෙන සපත්තු දාගෙන ඇවිදින්න අමාරුයි.  පැටලෙනවා. වැටෙනවා.  ඊට වඩා හොඳයි සපත්තු නැතුව ඇවිදින එක.  

ඒ කෙසේ වෙතත් සාකෝසිලා මැතිවරණ ජයග්‍රහණය කරන බවත් කිව යුතුයි.  එහෙම වෙන්නේ ඇයි කියන එක ගැනත් කල්පනා කරන්න අවශ්‍යයි.  අවංකකම, දැනුම, හැකියාව, මනුස්සකම වගේ දේවල් ගත්තහම සාමාන්‍ය ජනතාවට වඩා කුදු අය යෝධයින් වෙන්නේ කොහොමද? මවා ගන්න යෝධකම් වලට ඡන්දදායකයින් ගොදුරු වෙන්නේ ඇයි? මේවා ගැනත් හිතන්න ඕන.

එහෙම වෙන්න එක හේතුවක් තමයි අපේ තරම ගැන අපටත් නිසි අවබෝධයක් නැති කම.  යෝධකම් කෙසේ වෙතත් කුදුකම් ආරෝපණය කර ගන්න කැමැත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඇති දේ ඇති සැටියෙන් දකින්න බැරි කමක් නැත්තම් දකින්න අකමැති කමක් තියෙනවා. ඇස් ඇරගෙන ඉන්න අවශ්‍යම අවස්තාවලදී අහක බලාගන්නවා නැත්තම් ඇස් වහගන්නවා. හාල්කෑලි-මෝරු සෙල්ලමට වශී වෙනවා.  මේ තත්ත්වය මොන තරම් දරුණුද කියනවා නම් සාකෝසි-ක්‍රමවේදය හරියට ඉල්ලුමට-සැපයුමක් ද කියලත් හිතෙනවා.      

වෙනත් විදිහකට කියනවා නම් 'සුදු-දුඹුරු' ප්‍රශ්ණයකින් ජනතාවත් (නැත්තම් පාරිභෝගිකයාත්) පෙළෙනවා.  

නන්දා මාලිනි ගේ 'කුමක්ද මරණය' ගීතය මතක් වෙනවා.  පෙරදිග මුතු ඇටයේ ඇට කටු මත සත්‍යයේ නාමයෙන් ඇස් ඉස් මස් ලේ පුදන්න අවශ්‍යයි කියල මම හිතන්නේ නෑ. ඒත් කිරි පැණි පාගල තැඹිලි වතුර නාලා පච්චවඩම් තිර හතක් මැදින් ඇදුරන් වැඩලා අපගැන අඬලා සැප දුක් ඇසු කල අප හැම සාකෝසිලා කියලත් හිතෙනවා.    

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'  

31 May 2018

ෂෝට් ඇන්ඩ් ස්වීට් අහිංසකත්වය

මගුල් ගෙවල් ඉවර වෙන්නේ මංගල සභාවේ කතා වලින්.  ඊට් පස්සේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට වැඳලා මංගල යුවල පිටත් වෙනවා මධුසමය ගත කරන්න. දැන් කාලේ එහෙමයි. 

මේ ලියන්නේ මීට වසර 26කට පෙර වුණ සිද්ධියක් ගැන.  විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගේ අක්කගේ මංගල උත්සවය පැවැත්වුණේ ගම්පොල සිංහපිටියේ එයාලගේ ගෙදර.  ඒ ගෙදර අපි කාටත් හුරුයි. විශ්වවිද්‍යාලය වැහුනත් නැතත් අපේ මිතුරන් නිතර යන එන තැනක්. මිතුරාගේ දෙමාපියන් අපට සැලකුවේ දරුවන්ට වගේ. මිතුරාගේ සොහොයුරන් සොහොයුරියන් ට අපි සහෝදරයෝ වුනා. එදත් අදත්. 

මංගල උත්සවයේ සියලු දේ ලස්සනට වුණා.  හැමෝම හොඳට විනෝද වුණා.  මංගල සභාව පටන් ගත්තා. මනමාල පාර්ශවය වෙනුවෙන් කතාව යද්දී මනමාලි ගේ පැත්තෙන් කතාවක් සූදානම් කරලා නැති බව එක පාරටම හැමෝටම මතක් වුනා. මනමාලිගේ අක්කගේ මහත්තයා සහකාර පොලීස් අධිකාරිවරයෙක්. උපාධිධාරියෙක්. 

'අනේ මට නම් ඕක කරන්න බෑ,' අමරකෝන් අයියා අසරණ විදිහට කිව්වා. 

වෙන කව්රුවත් ඉදිරිපත් වුනෙත් නෑ. කියන්න කෙනෙක් හිටියෙත් නෑ. මනමාල පාර්ශවයේ කතාව දිගයි. මනමාලයාගේ ගුණවන්තකම් කියල නිම කරන්න බැරි තරම්.  ඇත්තටම ඔහු ඉතා හොඳ කෙනෙක්.  ගතවුණු වසර 26 තුල ඒ කතාවේ කිසිම අතිශෝක්තියක් නැති බව හැමෝම තේරුම් ගන්න ඇති.  

කතාව අවසන් වුනා. 

මංගල සභාව මෙහෙය වූ කෙනා මෙහෙම කිව්වා: 'දැන් මනමාලිගේ පාර්ශවය වෙනුවෙන් කතාවටයි අවස්ථාව.'

මොහොතක් ගත වුනා. කල්පයක් වගේ. කව්රුවත් මොනවත් කිව්වේ නෑ. මිතුරාත්, මිතුරාගේ මිතුරු කැලත් ඉතා අපහසුවෙන් එකිනෙකා දිහා බලා ගෙන හිටියේ. 

ජාතික ඇඳුමක් ඇඳගත් වයසක කෙනෙක්  මංගල සභාව මැදට ආවා. මනමාලිගේ පියා.  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය සරප්වරයෙක්. සංගීත ගුරුවරයෙක්. 'චතුරද්වනිය' ලෙස නම් කරන ලද සංගීත භාණ්ඩයක් නිර්මාණය කල ඔහුට කලාභූෂණ සම්මානයද ඒ වන විට පිරිනමා තිබිණ.


අන්කල් සාමාන්‍යයෙන් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි.  කතා කරන්නෙත් හෙමින්. වචන කිරල මැනලා වගේ.  කතා කරන්න පටන් ගන්නකොට මොනවා කියන්න ද යන්නේ කියල හිතාගන්න අමාරුයි.  මනමාලයාගේ ගුණයහපත්කම ගැන දිග කතාවකට පසුව මනමාලි ගැන දිගට කියන්න නුසුදුසුම කෙනා අන්කල් කියලයි මට හිතුනේ. ඒ වුනාට ඉතින් වෙන කව්රුවත් ඉදිරිපත් නොවුන එකේ අන්කල් ඉදිරිපත් වුන එක ලොකු දෙයක් කියලත් හිතුනා. 

'අහිංසකත්වයේ සංකේතය, අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය, මේ හාවා කියන සතා. ඒ හාවටත් වඩා අහිංසකයි මගේ මේ දියණිය.'

එච්චරයි. මොහොතක් ගත වුනා. කල්පයක් වගේ.  ජීවිතය ගැනත්, පියෙකුගේ සෙනෙහස ගැනත්, අරපරිස්සම ගැනත්, බොහෝ දේ කියවුනා. හිතන්න වුනා. 

ලොකු දේවල් කියන්න වචන දහස් ගණනක් අවශ්‍යම නැහැ.  ලොකු වචන තුල, දිග කතා තුල සියුම්ම දේවල් සැඟවිලා යනවා. සමහර අවස්ථා වල වචන අවශ්‍යත් නැහැ.  එක බැල්මකින් සිනහවකින් බොහෝ දේවල් කියන්න පුළුවන්. වචන වලට පෙරලන්න බැරි අදහස් එහෙම ප්‍රකාශ කරන්නත් පුළුවන්.  

මංගල සභාව මොහොතකට නිහඬ වුනේ මේ වගේ දේවල් කට්ටියට කල්පනා වුන නිසා ද කියල හරියටම කියන්න බැහැ. ඒත් ගතවුණු වසර 26 තුල සහභාගී වුන හැම මංගල උත්සවයකදී ම අන්කල්ගේ පුංචි කතාව මතක් වුනා. ඒ එක්කම ඒ මොහොතේ කල්පනා වුන දේවල් නැවත මතක් වුනා.  

වචන 3000කින් කියන දේ වචන 800කින් වුනත් කියන්න පුළුවන් නේද කියල ප්‍රායෝගිකව ඉගෙන ගත්තේ පත්තර රස්සාව කරන්න පටන් ගෙන වසර ගණනකට පසුවයි.  වචන 800කින් කියන දේ වචන 500කින් නැත්තම් 300කින් වුනත් කියන්න පුළුවන් කියල දැන් අවබෝධ කරගෙනයි ඉන්නේ.  එත් මනමාලියක් ගැන, ඇයගේ ගුණයහපත්කම ගැන වචන 15කින් කියන්න කිව්වොත් අන්කල්ගේ කතාව ට අහලකින් තියන්න පුළුවන් කතාවක් කරන්න බැරි බවත් දන්නවා.  

ඉතාම අහිංසක ජීවිතයක් ගත කරලා 2001 වසරේ අන්කල් ජීවිතයෙන්  සමුගත්තා.  වැඩිය කතා කල කෙනෙක් නොවුනත්, කියපු දේවල් තාම මතකයි.  ඒ හැම දෙයක් අතරින් වටිනාම දේ මේ පුංචි කතාව තුල තිබුනා, ඒ හරහා කියවුනා.  

මගේ දුවලා කසාද බඳින දවසක් උදාවුණොත්, එදාට මම ජීවතුන් අතර හිටියොත්, මංගල සභාවක් අමතන්න සිදුවුණොත්, ඒ වගේ කතාවක් කරන්න මට බැරි වන බව පැහැදිලියි.  කිසිම දෙයක් නොකියා ඉන්න වෙයි.  සමහර විට ජීවිතයේ 'කියන' හොඳම කතාව ඒ නිහඬ බවම වෙයි.  අන්කල් ට පින්සිද්ද වෙන්න මට කිසිම ලැජ්ජාවක් දැනෙන එකක් නැහැ. 

අහිංසකකම හැමවිටම ෂෝට් ඇන්ඩ් ස්වීට්.  ස්වීට්ම දේවල වලට වචන අවශ්‍ය නෑ.  

"මගේ ඇස අග" තීරුවේ තවත් ලිපි

ගම සුජීලගේ, ගම හදන්නෙත් සුජීලා හොඳේ?
ලාස්ට් මෑන් හැව් චාන්ස්
සඳට නොලියූ කවියක් 
අහඹු පොතක අහඹු පිටුවක හමුවිය කවියක් අහඹුම නොවන'
මේවා මොන ජීවිත ද බං?'