23 January 2016

"මම රාජ කුමාරයෙක් නෙමෙයි...මම ගමේ කොල්ලෙක්!' සහ කැකිරිලන්තයේ වෙනත් රස කතා

"මම රාජ කුමාරයෙක් නෙමෙයි...මම ගමේ කොල්ලෙක්!' -- මෛත්‍රිපාල
ප්‍රශස්ති ගීත සාහිත්‍යයේ "ලැජ්ජාසහගතම" ගණයට වැටෙන "අභිමාන පුලතිසි මහා පැරකුම් විජයබා කුලයේ...බ්ලා බ්ලා බ්ලා" සින්දුව මෛත්‍රිපාල විසින්, මෛත්‍රිපාල සමග, මෛත්‍රිපාල සඳහා කළ නිර්මාණයක් බව ඔප්පු වී හමාරයි. එසේ නොවේ යැයි කීමට ගොස් ශ්‍රී ලංකාවේ ජනපති ද ඔහුගේ පරිවාර වන්දිභාට්ටයින්ද තව තවත් නා ගන්නා බව ද පැහැදිලිය. මේ අතර ශ්‍රී ලංකාව සමග දීර්ග කාලීන මිත්‍රශීලී සබඳතා පවත්වන කැකිරිලන්තයේ අද දින ජනපති මුරුගේසු ස්වාමිනාදන් මහතා මෛත්‍රිපාල සිරිසේන ජනපති ට මෙසේ අවවාද කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කැකිරි එෆ් එම් නාලිකාවට පවසයි:

"බලය තියෙනකොට ඔහොම නමයි සහෝ. අමතක වෙනවා. අතපහු වෙනවා. වටේට ඉන්න උන් ගෙන් උපදෙස් ලැබෙන නිසා උතුර දකුණ මාරු වෙනවා. මෝඩ කතා කියනවා. මෝඩ වැඩ කරනවා. දැන් ඉතින් වැඩේ කේස් වුනා තමයි. එත් ඩෝන්ට් වෝරි මෛත්‍රී. මේ විදිහට කියන්න: 'ඔව් එහෙම සිංදුවකට මම අනුමැතිය දුන්න තමයි. රට හරි මගට ගන්න නිදිමරාගෙන කට්ට කන මට ඒ ගැන හරියට හොයන්න වෙලාවක් තිබුනේ නැහැ. ඒත් වැඩේ අවුල් බව දැනුන වහාම එය ඉවත් කරන්න කිව්වා. එකේ පද රචනය අවුල්. විෂුවල් ඊට එහා. මේක මටත් හොඳ පාඩමක්. ආයේ නම් ඕව වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මම රාජ කුමාරයෙක් නෙමෙයි...මම ගමේ කොල්ලෙක්!' ඔන්න ඔහොම කියන්න. නිහතමානිව වැරදි පිළිගෙන ලේසියෙන් ගොඩ යන්න පුළුවන්. හැව් අ නයිස් ඩේ බ්‍රදර්."
 
ජනපති රාජ්‍යත්වයට පත්වූ මෙහෙයුම 'දෙස් විදෙස් ඇස් මවිතකරවයි'

මෛත්‍රිය, සරල බව, අව්‍යාජත්වය යනාදී ය මාකට් කරමින් මහින්ද ගේ ඒකාධිපති පාලනය අවසන් ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය වගේ දේවල් ස්ථාපිත කිරීමට පොරොන්දු වී බලයට පත් ව වසරක් ගතවූ වහාම ජනපති මෛත්‍රිපාල සිරිසේන 'සිරි පැරකුම් බ්‍රා ද ෆස්ට්' නමින් රජ වීම පිළිබඳව තමා මවිතයට පත් වූ බව අසල්වැසි කැකිරිලන්තයේ මහානගර ඇමති ශීග්‍රගාමී කේතුමතී මහත්මිය කැකිරි එෆ් එම වෙත ප්‍රකාශ කර සිටියි.

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, බ්‍රා වික්‍රමයයි පැරකුම් සිහනයයි බද්ද කරල දෙමුහුන් ආණ්ඩුවේ සෙසු පාර්ශවයාගේ නිහඬ අනුමැතිය සහිතව 'පළමු සිරි පැරකුම් බ්‍රා' ලෙස රජ වු ආකාරය ඇය විස්තර කලේ මෙසේය:

"ඉහලම ගණයේ ඥානයක් තියෙන්න ඕනේ ඔය වගේ දෙයක් කරන්න. මුලින්ම කලේ බ්‍රා එකක් ගැන ඒ මොහොතේ මෝඩ යි වගේ පෙනුන දෙයක් ප්‍රකාශ කිරීම. ඊට පස්සේ දෙවිවරු රජවරු ඔබල මියුසික් වීඩියෝ එකක් හදන එක. එකත් මෝඩ වැඩක් වගේ පෙනෙන්න ඇති. එත් හැමෝටම අමතක වුන දේවල් තියෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් රජතුමාට අමතක නොවුන. එකක් තමයි තමගේ නමේ මුල් කොටස 'සිරි' කියන එක. දෙක, ඔහු පොළොන්නරුවේ. ඉතින් 'සිරි' + 'පැරකුම්' කියන්නේ 'සිරි පැරකුම්' නේ. 'බා' කියල එකක් හරියට ගන්න බැරි වුනාට අර එන්රිකේ කියන හාදය ආපු නිසා 'බා' වෙනුවට 'බ්‍රා' දාගන්න ක්‍රමයක් හොයාගත්ත. ඉතාම නිර්මාණශීලියි. ඉතාම ඥානාන්විතයි. හැමෝටම අංක ගණිතයට දක්ෂ නැහැ එත් ඔහු විශිෂ්ඨ අංක ගණිතාඥයෙක්."
 
හිරුනිකා ගේ නැකත සහ අපේ නැකත 
 
හිරුනිකා ගේ තක්කඩිකම් බුකියේ ඉන්න අහිංසක බුවෙක් කළා යැයි හිතමු (නිකමට වගේ). උසාවිය සහ පොලීසිය දැක බලාගෙන ශේප් එකේ ඇප ගෙවා ගෙන ගෙදර යන්න පුළුවන් වෙයිද? මේ මෛත්‍රී-රනිල් ගේ "යහපාලිත" ශ්‍රී ලංකාව තුල නීතිය ඉදිරිපිට පුරවැසියන් සමාන වන්නේ මෙලෙසයි. ශ්‍රී ලංකාවේ එහෙම වුනත් කැකිරිලන්තයේ එහෙම නොවන බව එම රටේ අග විනිසුරු කොලොන්නාවේ අහිංසක මහතා කැකිරි එෆ් එම් ගුවන් විදුලි සේවයට පවසයි.


'ග්ලව්ස්' ගලවා එලිසබෙත් රැජින මෛත්‍රීපාලට අතට ඇත දීමේ යටි අරමුණ හෙළි වේ

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන නන් දොඩවන ශ්‍රී ලංකාවේ වත්මන් පාලකයින් සහ විද්වතුන් යැයි කියාගන්නා ලාමක විචාරකයින් ට යටත්විජිතවාදයේ විවිධත්වයක් තිබු බව අමතක වී ඇති බව කැකිරිලන්තයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අද දින සභාපති චෝ චෝ උක්වත්තගේ මහතා පෙන්වා දෙයි.

කැකිරි එෆ් එම් විසින් ඔහු වෙත යැවු ඊමේල් පනිවුඩයකට පිළිතුරු සපයමින් චෝ චෝ මහතා මෙසේද පැවසුවේ ය.

"දැන් බලන්න. බ්‍රිතාන්‍යය විතරද රටවල් ආක්‍රමණ කලේ? නෑ.  ප්‍රංශය, බෙල්ජියම, පෘතුගාලය වගේ රටවලුත් ඔය යටත්විජිතකරණය යසට කර ගෙන ගිය.  පසුව ඒ ඒ රටවල එයාලට හිතවත්  පිරිසකට සම්පත් මංකොල්ලය කළමනාකරණය කරන්න කියලා යන්න ගියා.  ඒකට කියන්නේ 'කොස්ට් කටිං'.  වැදගත් වෙන්නේ එකම නෙමෙයි.  ඔය යටත් විජිත අතරින් බෙදුම්වාදී අරගල බිහිවුනෙත්, බලය බෙදීමේ කතා හැදුනෙත්, කෝකටත් තෛලය හැටියට ෆෙඩරල් ක්‍රමය යෝජනා වුනෙත් බ්‍රිතාන්‍ය යටත් කරහෙන හිටිය රටවල විතරයි. සමහර විට 'ග්ලව්ස්' කුට්ටම ගලවලාම අර එලිසබෙත් නෝනා මෛත්‍රිපාල සිරිසේන මහත්තයට අතට ඇත දුන්නේ ඒ ලෙඩේ ඔහුටත් බෝකරන්න වෙන්න පුළුවන්."
 
 
මෛත්‍රී-රනිල් සමයේ තවත් කැකිරි නිවුස්:
 

"උමතුවේ සම්මුතිය" ජනගත කෙරේ


1 comments:

Unknown said...

මරු කතාවක් නේ...